• Chathura Ramanayake

බංග්ලාදේශ - කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන්ට !!!



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව සිය ඉනීම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක් රැස්කළහ. ආරම්භක පිතිකරු එනමුල් හක් ලකුණු 10කට දැවී යද්දී ශකිබ් අල් හසන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. අනතුරුව තෙවන කඩුල්ලට අෆිෆ් හුසේන් හා ලිටන් ඩාස් එක්ව ලකුණු 57ක් එක් කරන්නට විය. ලිටන් ඩාස් පන්දු 40ක් තුළ ලකුණු 49ක් රැස්කොට සිටයදී දවාගැනීමට හේඩ්න් වොල්ෂ් සමත් විය.


අෆිෆ් හුසේන් පන්දු 38ක් තුළ ලකුණු 50ක් රැස්කොට සිටියදී දුවද්දී දැවීයාමට හසු වූ අතර නායක මහමදුල්ලා ලකුණු 22ක් රැස්කළේය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් හේඩ්න් වොල්ෂ් ලකුණු 25කට කඩුලු 2ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 43ක් තුළ බිදවැටුනි. අනතුරුව ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් සමගින් පිටියේ එක්වූ නායක නිකලස් පූරන් සිව්වන කඩුල්ලට ලකුණු 85ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් පන්දු 38කදී හතරේ පහර 2ක් හා හයේ පහර 10ක් සමගින් ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය.


නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 39ක් තුළ වේගවත් ලකුණු 74ක් රැස්කරමිනි. නිකලස් පූරන්ගේ නොදැවුනු එම ඉනීමට හතරේ පහර හා හයේ පහර 5 බැගින් ඇතුළත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්තේ තරගාවලියේ ජයග්‍රහණයද තරග 2-0ක් ලෙසින් හිමිකරගනිමිනි.


බංග්ලාදේශ කණ්ඩායම - 163/5

අෆිෆ් හුසේන් 50, ලිටන් ඩාස් 49

හේඩ්න් වොල්ෂ් 2/25, රෝමාරියෝ ෂෙපර්ඩ් 1/19


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම - 169/5

නිකලස් පූරන්* 74, කයිල් මේයර්ස් 55

නසුම් අහමඩ් 2/44, ශකිබ් අල් හසන් 1/10



0 views0 comments