• Shaminda Jayarathne

බංග්ලාදේශය පරාජයට පත් කළ සිම්බාබ්වේට තරඟාවලි ජයක්!

බංග්ලාදේශය පරාජයට පත් කරමින් දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරඟය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම 2-1 ක් වශයෙන් විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් වුණා. පළමු තරඟය ලකුණු 17 කින් සිම්බාබ්වේ ජය ගනිද්දී දෙවන තරඟය කඩුලු 7 කින් බංග්ලාදේශය ජයග්‍රහණය කළා.


එවැනි තත්ත්වයක් උඩ පැවති තෙවන විස්සයි විස්ස තරඟය දෙපිළටම අතිශය තීරණාත්මක වුණා. හරාරේ නුවරදී ආරම්භ වූ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. බලාපොරොත්තු වූ ආරම්භය ඔවුන්ට නොලැබී ගිය අතරම සිම්බාබ්වේ මුල් කඩුලු 6 ලකුණු 67ක් තුළ බිඳ වැටුණා. ඒ වන විට ඉනිමේ පන්දුවාර 13ක් නිමාව දැක තිබීමද විශේෂත්වයක්.


නමුත් පිටියේ ස්ථාවර වූ රයන් බර්ල් විසින් පන්දු 28ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් ද සමග ලකුණු 54ක් වාර්තා කළා. ඔහුට අනගි සහායක් ලබාදුන් ලූක් ජෝන්ග්වේ පන්දු 20 කින් ලකුණු 35යි. ඔවුන් දෙදෙනා 7 වන කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5.1 වැනි කෙටි කාලයක් තුළ ලකුණු 79 ක් එක් කිරීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් වද්දී ලකුණු 156ක් දක්වා ගමන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ බංග්ලාදේශය ආරම්භයද සුබදායී වුණේ නෑ. ඔවුන්ගේ මුල් කඩුලු 4 ලකුණු 60ක් තුළ බිඳ වැටුණා. නමුත් ජයග්‍රහණය වෙතට යාමට මහමදුල්ලා, අෆීෆ් හොසේන් ඇතුළු පිතිකරුවන් විශාල උත්සාහයක් ගත්තද සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ එය ව්‍යර්ථ වුණා. අවසානයේදී පන්දුවාර 20 අවසානයේදී බංග්ලාදේශය කඩුලු 8ක් දැවී වාර්තා කළේ ලකුණු 146ක් පමණයි.


ඒ අනුව අවසන් විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 10 ක ජයග්‍රහණයක් හිමිකර ගනිමින් තරඟාවලි ජය තහවුරු කර ගැනීමට සිම්බාබ්වේ ට හැකි වුණා. තරඟයේ වීරයා රයන් බර්ල් ලෙසිනුත් තරඟාවලියේ වීරයා සිම්බාබ්වේ සිකන්ඩර් රාසා ලෙසිනුත් නම් වී තිබුණා.


තරඟ සාරාංශය


සිම්බාබ්වේ 156-8 (20)

රයන් බර්ල් 56(28), ලූක් ජෝන්ග්වේ 35(20), ක්‍රේග් එර්වයින් 24(27)

මහෙදි හසන් 28/2, හසන් මහමුඩ් 28/2


බංග්ලාදේශය 146-8 (20)

අෆිෆ් හොසේන් 39(27)*, මහමදුල්ලා 27(27), මහෙදි හසන් 22(17)

වික්ටර් න්‍යාචි 29/3, බ්‍රැඩ් එවන්ස් 26/2


0 views0 comments