• Chathura Ramanayake

බංග්ලාදේශයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ ජය කොදෙව්වන්ට !!


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ නිසාවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කොදෙව් නායක නිකලස් පූරන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව කොදෙව් ඉනීම ආරම්භ කරමින් බ්‍රෙන්ඩන් කිං සමගින් කයිල් මේයර්ස් පිටියට පිවිසියහ. ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 18කට සීමා කරමින් කයිල් මේයර්ස්ගේ ඉනීම ලකුණු 17කදී නිමා කරන්නට මෙහෙදි හසන්ට හැකිවිය. ශම්රාහ් බෲක්ස් ලකුණු නොලබා දැවීයද්දී නායක නිකලස් පූරන් හා බ්‍රෙන්ඩන් කිං තෙවන කඩුල්ලට ලකුණු 74ක් එක්කරන්නට විය. නිකලස් පූරන් ලකුණු 34කට දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.


අනතුරුව පිටියට එක්වන රෝමාන් පවෙල් බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ප්‍රහාරයක් දියත් කරන්නට විය. ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං පන්දු 43කදී ලකුණු 57ක් රැස්කොට සිටියදී සිව්වන කඩුල්ල ලෙසින් දැවීගියේය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස්කිරීමට කොදෙව් කණ්ඩායම සමත් විය. වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ රෝමාන් පවෙල් පන්දු 28කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමගින් නොදැවුනු ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ෂෝරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 8ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යවන්නට වේගපන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි සමත් විය. නායක මහමදුල්ලා ලකුණු 11කට දැවී යද්දී ශකිබ් අල් හසන් හා අෆීෆ් හුසේන් එක්ව බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වෑයම් කළහ. නමුත් අෆිෆ් හුසේන් ලකුණු 34කදී දැවීයද්දී සෙසු පසුපෙළ පිතිකරුවන්ද ලකුණු අතරට පිවිසීමට අපොහොසත් විය.


නියමිත පන්දුවාර විස්ස අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසන් පන්දු 52කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රෝමාරියෝ ෂෙපර්ඩ් හා ඔබෙඩ් මැකෝයි කඩුලු 2ක බැගින් දවාගත්හ.තරගයේ වීරයා ලෙසින් රෝමාන් පවෙල් සම්මානයට පාත්‍ර විය.


කොදෙව් ඉනීම - 193/5

රෝමාන් පවෙල්* 61(28), බ්‍රෙන්ඩන් කිං 57(43), නිකලස් පූරන් 34(30)

ශෝරිෆුල් ඉස්ලාම් 2/40, මොසැදික් හුසේන් 1/0


බංග්ලාදේශ ඉනීම - 158/6

ශකිබ් අල් හසන්* 68(52), අෆිෆ් හුසේන් 34(27)

රෝමාරියෝ ෂෙපර්ඩ් 2/28, ඔබේඩ් මැකෝයි 2/37




0 views0 comments