• Chathura Ramanayake

බිග්බෑෂ් ලීගය අතහරින ඕස්ට්‍රේලියානුවන්ට එක්සත් අරාබි ලීගයෙන් දැවැන්ත මුදලක් !!!



බිග්බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත්වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන්, ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්ට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබාදීමට සූදානමක් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන නව ලීග් තරගාවලිය, බිග්බෑෂ් ලීග් තරගාවලියට හරස්වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් ලීගයේ සංවිධායකයන් මෙලෙසින් ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් සමගින් ගනුදෙනුවක් සිදුකිරීමට නියමිත බව එම වාර්තා වල දැක්වෙයි.


බිග්බෑෂ් තරගාවලියේ දෙසැම්බර් මස 13වනදා ආරම්භ වීමට නියමිත අතර එය පෙබරවාරි මස 4වනදා තෙක් පැවැත්වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු වරට පවත්වන ILT20 තරගාවලිය ජනවාරි මස 6 වනදා සිට පෙබරවාරි මස 12වනදා තෙක් පැවැත්වෙයි. සිඩ්නි මෝනින් හෙරල්ඩ් වාර්තාවකට අනුව බිග්බෑෂ් ලීග් තරගාවලිය අතහැර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන නව තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 15දෙනෙකුට වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 7 බැගින් වූ කොන්ත්‍රාත්තු ලබා දීමට නියමිතය.


බිග්බෑෂ් ලීග් තරගාවලියේ මේ වන තෙක් වැඩිම ගෙවීම සිදු කොට ඇත්තේ ඩී ආකි ෂෝට් හටය. ඔහුට ඕස්ට්‍රේලියානු ඩොලර් 370000ක මුදලක් බිග්බෑෂ් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත යටතේ හිමිවී ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් හිමිකරුවන් එක්සත් අරාබි එමීර් ලීගය හා දකුණු අප්‍රිකානු ලීගයේ කණ්ඩායම් හිමිකාරීත්වය ලබාගැනීමට පෙළඹීමත් සමග බිග්බෑෂ් ලීගයේ ක්‍රීඩක වැටුප් ව්‍යූහයේ වෙනසක් කිරීමට සිදුවනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

0 views0 comments