• Chathura Ramanayake

බෲක් හා බෙන්ගේ වාර්තාගත සබදතාවය එංගලන්තයට විශිෂ්ට ජයක් උරුම කර දෙයි.


සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග 7කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය ඊයේ රාත්‍රියේදී කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තාන නායක පළමුව පන්දු රැකීමට තීරණය කළේ පෙර දිනයේදී හඹාගොසින් පහසු ජයක් ලද බැවිනි.


එංගලන්ත ඉනීම ආරම්භ කළේ පිල් සෝල්ට් සමගින් මංගල විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ විල් ජැක්ස්ය. පිල් සෝල්ට් ලකුණු 8කට දැවීගිය අතර ඩේවිඩ් මාලන්ට ද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 14ක් පමණි. මංගල විස්සයි විස්ස ඉනීම ක්‍රීඩා කළ විල් ජැක්ස් පන්දු 22කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය.



සිව්වන කඩුල්ලට පිටියේ එක්වන බෙන් ඩුකෙට් හා හැරී බෲක් නොදැවුනු ලකුණු 139ක සබදතාවක් ගොඩනගන්නට විය. එය එංගලන්තය වෙනුවෙන් සිව්වන කඩුල්ලට ගොඩනැගුණු හොදම සබදතාවය බවට පත් විය. එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 221ක් රැස්කිරීමට සමත් විය.


හැරී බෲක් පන්දු 35කදී හතරේ පහර 8ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 81ක්ද බෙන් ඩුකෙට් පන්දු 42කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 70ක්ද රැස්කළහ. පන්දු යැවීමේදී උස්මාන් කාදිර් ලකුණු 48කට කඩුලු 2ක් බිදහෙලීය.


දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයම ලකුණු 8 බැගින් රැස්කොට සිටියදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට මාක් වුඩ් හා රීස් ටොප්ලීට හැකිවිය. පාකිස්තානය වෙනුවෙන් පිතිකරුවන් තිදෙනෙකු හැරුනු විට අන් කිසිවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය.


ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශාන් මසූඩ් පන්දු 40කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය. කුෂ්දිල් ශාහ් ලකුණු 29ක් හා මොහොමඩ් නවාස් ලකුණු 19ක්ද රැස්කළ නමුත් පාකිස්තානය නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී රැස්කළේ ලකුණු 158ක් පමණි.


පන්දු යැවීමේදී මාක් වුඩ් ලකුණු 24ට කඩුලු 3ක් හා අඩිල් රශීඩ් ලකුණු 32කට කඩුලු 2ක් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් හැරී බෲක් සම්මාන ලබද්දී තරගාවලිය 2-1ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට එංගලන්තයට හැකිවිය.


59 views0 comments