• Shaminda Jayarathne

පොළොන්නරුවෙන් පැමිණ රටේම බර කරට ගෙන රන් දිනූ ලක් මවගේ සිංහ පුතා

2006 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ක්‍රියාත්මක වෙමින් තිබුණි. එහි පිරිමි බර ඉසිලීම කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ තරඟ වදින්නට නියමිතව සිටියේය. චින්තන විදානගේ යනු කවුදැයි ඒ වන විටත් බොහෝ දෙනා දැන නොසිටියෝය.


එංගලන්ත, ඕස්ට්‍රේලියා, ඉන්දියා ක්‍රීඩකයන් මධ්‍යයේ ක්‍රීඩකයන් 20 දෙනෙක් රන් පදක්කම සිය රට වෙනුවෙන් රැගෙන යාමට තරඟ වදිමින් සිටියහ. චින්තන සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් ස්නැච් ක්‍රමයේ බර ඉසිලීම අවසන් වද්දී ඉන්දීය ක්‍රීඩක අරුන් මුරුගීසන් පළමු ස්ථානයේත් මැලේසියා ක්‍රීඩක අබ්දුල් රශීඩ් දෙවන ස්ථානයේත් සිටියේ චින්තන තෙවන තැන දක්වා ඇද දමමිනි.


නමුත් ක්ලීන් ඇන්ඩ් ජර්ක් (Clean and Jerk) ක්‍රමයට බර ඉසිලීමේදී චින්තන විසින් මැලේසියා සහ ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනාටම අදහාගත නොහැකි ආකාරයේ දක්ෂතාවයක් සටහන් කිරීමට සමත් විය. ඔහු විසින් කිලෝග්‍රෑම් 153 ක බරක් ඔසවමින් මුරුගීසන් සහ අබ්දුල් රශීඩ් දෙදෙනාවම ඉක්මවා ගියේ වසර 12 කට පසුව ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියක ලැබුණ රන් පදක්කම සටහන් කරමිනි.


එය පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන රන් පදක්කම ලෙසින්ද සටහන් විය. එතැනින් නොනවතින ඔහු 2010 දිල්ලි තරඟාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් තරඟ වදිමින් රිදී පදක්කමක්ද මවුබිමට දායාද කිරීමට සමත් විය. පොළොන්නරුවේ ඉපිද දහසක් බාධක මධ්‍යයේ පැමිණ රන් රිදී වලින් ලක් මාතාව සැරසූ චින්තන ගීතාල් විදානගේ යනු සැබැවින්ම අපේ කාලයේ වීරයෙක් ලෙසින් සටහන් කිරීම වරදක් නොවේ.

77 views0 comments