• Shaminda Jayarathne

ප්‍රේක්ෂකයාගේ දිවි ගලවාගැනීමට තරඟය අමතක කල පාපන්දු විරුවා!

ස්පාඤ්ඤය ලාලීගා පාපන්දු තරඟාවලිය යටතේ පැවැති තවත් එක් තරඟයක් වූ කාඩිස් සහ බාසිලෝනා අතර තරඟය ඊයේ දිනයේදී ක්‍රියාත්මක වුණා. තරඟය පැවැත්වුණේ කාඩිස් නගරයේම Estadio Ramon de Carranza ක්‍රීඩාංගනයේදීයි. තරඟය නැරඹීමටද ප්‍රේක්ෂකාගාරය පිරී ප්‍රේක්ෂකයන් රැඳී සිටියා.


තරඟයේ අවසන් විනාඩි 10 ට ළඟා වන විටත් ගෝල 2-0 ක් ලෙසින් ජයග්‍රහණය බාසිලෝනා වෙතට ලැබෙමින් තිබුණා. නමුත් මේ මොහොතේදී සිදුවූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ සිදුවීමක්. ඒ ප්‍රේක්ෂකාගාරය තුළ සිටි අයෙක් හදිසියේම අසනීප තත්ත්වයක් ඇති වී බිම ඇද වැටීමයි. මේ මොහොතේදී ප්‍රේක්ෂකයාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුණා.


වහාම ක්‍රියාත්මක වන කාඩිස් කණ්ඩායමේ දැල් රකින්නා වන ජෙරමියස් ලෙඩෙස්මා මේ මොහොතේදී බාසිලෝනා වෛද්‍ය මණ්ඩලය වෙතට දිවගොස් අදාල වෛද්‍ය උපකරණ අඩංගු බෑගයක් නැවත ප්‍රේක්ෂකාගාරය වෙතට දිවවිත් ලබා දෙනවා. ඔහු කළ මෙම ක්‍රියාව මේ වන විටත් පාපන්දු ලෝකයේම ඇගයීමට පත් වෙමින් තිබෙනවා.


29 හැවිරිදි ආර්ජන්ටිනා ජාතික ක්‍රීඩක ලෙඩෙස්මා විසින් සිදුකළ මෙම ඉක්මන් ක්‍රියාව නිසාවෙන් ප්‍රේක්ෂකයාගේ ජීවිතය ගලවා ගැනීමට විශාල අවස්ථාවක් ලැබුණ බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේද ඔහුට ප්‍රසංශා කරමින් විවිධාකාරයේ ප්‍රේක්ෂක මත පළ වී ඇති ආකාරයද දකින්නට ලැබුණා.

298 views0 comments