• Shahan Fernando

පෙරළිකාර නව හඳුන්වාදීම් රැසක් සමඟ කරලියට එන නවතම T20 ලීගය.



IPL තරඟාවලිය හඳුන්වාදීමත් සමඟින් විස්සයි විස්ස ලීග් තරඟ රටාව ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රචලිත වුණු බව නොරහසක්. ඉන්දීය ප්‍රීමියර් ලිගයෙන් පසු ඕස්ට්‍රේලියාව (BBL), ශ්‍රී ලංකාව(SLPL,LPL), බංගලාදේශය (BPL), පාකිස්ථානය (PSL), බටහිර ඉන්දීය කොදෙව් දූපත් (CPL) වැනි බොහෝ රටවල් තමන්ගේම විස්සයි විස්ස ලිගයක් හඳුන්වා දීමට සමත්වුණා.


මෙම ලීග් තරඟාවලි ගොන්නට අලුතින්ම එක්වන තරඟාවලිය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන International League T20 (ILT20) තරඟාවලියයි.


කණ්ඩායම් 6කින් සමන්විත මෙම තරඟාවලියේදී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 18 දෙනෙකු බැගින් වන ක්‍රීඩක සංචිත ඇතුළත් කිරීමට හැකියාව පවතින අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් කරගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. සෙසු ක්‍රීඩකයින් 6 දෙනා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් තෝරාගනු ඇති.


කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා AUDRA නමින් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ද මෙම තරඟාවලියේ සංවිධායකයින් කටයුතු කිරීමට සූදානම්. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියක් (Auction) සහ ක්‍රීඩකයින් තෝරාගැනීමේ කෙටුම්පතක් (Draft) යන අංග දෙකෙන්ම මෙම නව ක්‍රමවේදය සමන්විත බවයි වාර්තා වන්නේ.


කෙසේ නමුත් මෙම තරඟාවලිය බොහෝ දෙනා අතර කතාබහට ලක්වන තරඟාවලියක් බවට පත්වූනේ තරඟාවලියට සභාභාගි වන ක්‍රීඩකයින් හට ගෙවීමට නියමිත ආකර්ෂණීය ක්‍රීඩක වැටුප් ප්‍රමාණයක් හෙළිකිරීමත් සමඟයි.


ඒ අනුව තරඟාවලියේ ක්‍රීඩා කිරීමට පැමිණෙන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් හට ඩොලර් 450,000 ක උපරිම වැටුපක් ගෙවීමට මෙම තරඟාවලිය සුදානම්. මෙම උපරිම ගෙවීම දෙවෙනි වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලිගයට පමණයි. එම තරඟාවලියේදී ක්‍රීඩකයෙක් හට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ උපරිම ගෙවීමක් සිදුකර තිබෙනවා.


ඒ අනුව ඩොලර් 230,000 කට ආසන්න දෙවැනි ඉහළම ක්‍රීඩක වැටුප ගෙවූ ඕස්ට්‍රේලියානු BBL තරඟාවලියත් ආසන්න වශයෙන් ඉහළම පෙළේ ක්‍රීඩකයෙකුට ඩොලර් 200,000 ක පමණ මුදලක් ගෙවූ පාකිස්ථාන සුපර් ලිගයද අභිබවමින් මෙම තරඟාවලිය ඉදිරියට පැමිණීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.


මෙවැනි ඉහළ මුදලක් ගෙවීමේ වාසිය වන්නේ ජනප්‍රිය සහ ඉහළ පෙළේ ක්‍රීඩකයින් තරඟාවලියට ආකර්ශනය කරගැනීමේ හැකියාවයි. දැනටමත් ඩේවිඩ් වෝනර් වැනි ප්‍රභලයින් මෙම තරඟාවලියට එක්විමේ සූදානමක් පවතින බවයි ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ.


මෙම තරඟාවලිය එළඹෙන 2023 වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. තරඟකාරී ලිග් තරඟාවලි අතරට එක්වන මෙම නව තරඟාවලිය පිළිබද තවත් තොරතුරු ඉදිරියේදී ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්.

0 views0 comments