• Chathura Ramanayake

ප්‍රසන්න අභිබවන්නට දික්වැල්ලට හැකිවේවිද ?


ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩි ස්ටම්ප් දවාගැනීම් සිදුකළ කඩුලු රකින්නන් අතර අටවැන්නා බවට පත් වන්නට ශ්‍රී ලංකා වත්මන් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත් වී ඇත. දික්වැල්ල 2014 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 51කට ක්‍රීඩාකරමින් ස්ටම්ප් දවාගැනීම් 27ක් සිදුකොට ඇත.


ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ස්ටම්ප් දවාගැනීම් ගණනක් සිදුකොට ඇති කඩුලු රකින්නා වනුයේ ප්‍රසන්න ජයවර්ධනයි. ප්‍රසන්න ජාත්‍යන්තර ටෙස්ට් තරග 58කට ක්‍රීඩා කරමින් ස්ටම්ප් දවාගැනීම් 32ක් සිදුකිරීමට සමත් වී ඇත. හිටපු ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ස්ටම්ප් දවාගැනීම් 26ක් සිදු කිරීමට සමත් වී ඇත.



ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර කඩුලු රකින්නෙකු ලෙසින් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 48 තුළදී ස්ටම්ප් දවාගැනීම් 20ක් සිදුකොට ඇත. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ස්ටම්ප් දවාගැනීම් සිදුකොට ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බර්ඩ් ඕල්ඩ්ෆීල්ඩ් නම් කඩුලු රකින්නායි. ඔහු විසින් සිදුකොට ඇති ස්ටම්ප් දවාගැනීම් ගණන 52කි.


දික්වැල්ලට ප්‍රසන්න ජයවර්ධන අභිබවා යාමට වැඩි ඉඩකඩක් ඇති නමුත් දික්වැල්ලගේ කඩුලු රැකීමේ ස්ථානයට අභියෝගයක් එල්ල කරන්නට නිෂාන් මදුෂ්ක සමත් වී ඇත. ඔහු මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ විශිෂ්ට දස්කම් පාන්නට සමත් වී ඇත්තේ ඉනීම 7ක් තුළදී ලකුණු 925ක් රැස්කරමිනි. නමුත් දික්වැල්ල කණ්ඩායමට සිය උපරිම සේවය ඉටුකරන්නේ නම් ඔහුට ප්‍රසන්න අභිබවා යන්නට නිසැකවම අවස්ථාව හිමි වනු ඇත.



51 views0 comments