• Chathura Ramanayake

ප්‍රභාත් ජයසූරිය පාකිස්තාන ඉනීම වනසද්දී බාබර්ගෙන් නායකත්වයේ ඉනීමක් !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය දෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයට තරගය ආරම්භ කරන විට සංචාරක පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 2ක් දැවී ලකුණු 24ක් රැස්කොට තිබුණි.වර්ෂාව හේතුවෙන් තරගය තරමක් ප්‍රමාද වී ආරම්භ වූ අතර පාකිස්තාන ඉනීමට කිසිදු ලකුණක් එක්වීමට මත්තෙන් අසාර් අලි දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය.


අනතුරුව මොහොමඩ් රිස්වාන් හා බාබර් අසාම් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 40ක් එක් කරන්නට විය. දිනයේ යොමුකළ පළමු පන්දුවෙන්ම පාකිස්තාන ඉනීමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 19කට දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය. අගා සල්මන් හා මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයන් දෙපළම ලකුණු 5 බැගින් රැස්කොට සිටියදී දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. නැවත වරක් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය ශහීන් අෆ්‍රිඩි ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූයේ මංගල ඉනීම් තුනෙහිදීම කඩුලු 5 බැගින් බිදහෙලමිනි.


පාකිස්තාන ඉනීම ලකුණු 85කට කඩුලු 7ක් ලෙසින් වරකදී දිස්වුවද සටන අත්නොහැරි බාබර් අසාම් පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ නැංවීය. අවසන් කඩුල්ලට බාබර් අසාම් හා නසීම් ශාහ් අතරෙහි ලකුණු 70ක සබදතාවක් ගොඩනැගුනද නසීම් ශාහ් පන්දු 52කදී නොදැවී ලබාගත්තේ ලකුණු 5ක් පමණි. නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ බාබර් අසාම් සිය හත්වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 244ක් තුළ හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 119ක් රැස්කළේය.


ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 218ක් රැස්කරද්දී පළමු ඉනීමෙහි ලකුණු 4ක ඉදිරියක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සිය දෙවන ඉනීම ඇරඹූ ශ්‍රී ලංකාව අද දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් රැස්කොට සිටියි.එහිදී ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 17ක් රැස්කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා පළමු ඉනීම - 222/10 (66.1)

දිනේෂ් චන්දිමාල් 76(115), මහීෂ් තීක්ෂණ 38(65), ඕෂධ ප්‍රනාන්දු 35(49)

ශහීන් අෆ්‍රිඩි 4/58, හසන් අලී 2/23, යසීර් ශා 2/66


පාකිස්තාන පළමු ඉනීම - 218/10 (90.5)

බාබර් අසාම් 119(244), මොහොමඩ් රිස්වාන් 19(35)

ප්‍රභාත් ජයසූරිය 5/82 , රමේෂ් මෙන්ඩිස් 2/18, මහීෂ් තීක්ෂණ 2/68


ශ්‍රී ලංකා දෙවන ඉනීම - 36/1 (11.5)

ඕෂධ ප්‍රනාන්දු 17(35)

මොහොමඩ් නවාස් 1/12

0 views0 comments