• Shaminda Jayarathne

පැයට කිලෝමීටර් 162 ට වැඩි වේගයකින් පන්දු යවන පාකිස්තානුවා!


ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානය යන නම ගත්කළ වේග පන්දු යවන්නන් බිහි කෙරීමෙහිලා ඔවුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ඉම්රාන් කාන්, ශොයිබ් අක්තාර්, මොහොමඩ් අමීර් වැනි විශිෂ්ට වේග පන්දු යවන්නන් විශාල ප්‍රමාණයක් පාකිස්තානය විසින් ක්‍රිකට් පිටියට දායාද කොට තිබෙනවා.


වර්තමානයේදීද ඔවුන් සතුව ඉතාමත් හොඳ වේග පන්දු යවන බලඇණියක් සිටින අතරම නව වේග පන්දු යවන්නන්ගෙන්ද අඩුවක් නෑ. මේ පන්දු යැවීමේ බලඇණියට නවතම සොයාගැනීමක් සිදු කිරීමට පාකිස්තානයට හැකිවී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. මේ පන්දු යවන්නා නමින් ෆහීම් කාන්.


පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන PSL තරඟාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පරීක්ෂා කිරීමට පැවති පුහුණු සැසියකදී ඔහු පැයට කිලෝමීටර් 162.3 ක වේගයෙන් පන්දුවක් යැවීමට සමත් වී තිබෙනවා. ඒ වගේම ඔහු විසින් පැයට කිලෝමීටර් 160 ට වඩා වේගයෙන් එක දිගට පන්දුවාර 2ක් යැවීමටද සමත් වූ බව සඳහන්.


මේ නිසාවෙන් ෆහීම් කාන් යන නාමය ඉක්මනටම ක්‍රිකට් පිටිය තුළදී දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට පාකිස්තාන මාධ්‍ය ඉඟි පළ කොට සිටිනවා. ඔහු වේගය මෙන්ම සාර්ථකත්වයද පෙන්නුම් කළහොත් පාකිස්තාන වේග පන්දුවේ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් සලකුණ බවට පත් වීමේ හැකියාවද තිබෙන බව නොරහසක්.

6,392 views0 comments