• Chathura Ramanayake

පාන්ඩ්‍යා, ජඩේජා සුසංයෝගය ඉන්දියාවට ජය ගෙනෙයි !!!



ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද දිනයේදී පැවැත්වූයේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය. පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 42කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 43ක් රැස්කිරීමට සමත් විය. ඉෆ්තිකාර් අහමඩ් පන්දු 22ක් තුළදී ලකුණු 28ක් රැස්කිරීමට සමත් විය.


සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. පාකිස්තාන ඉනීම තුළ කිසිදු අර්ධ ශතක සබදතාවක් වාර්තා නොවූ අතර තෙවන කඩුල්ලට ඉෆ්තිකාර් අහමඩ් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 45ක් එක් කළහ. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර් ලකුණු 26කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වද්දී හර්දික් පාන්ඩ්‍යා ලකුණු 25කට කඩුලු 3ක් බිදහෙලන්නට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නසීම් ශාහ්ට හැකිවිය. රෝහිත් ෂර්මා ලකුණු 12ක් රැස්කළ අතර විරාට් කෝලි පන්දු 34කදී ලකුණු 35ක් රැස්කළේය. සූර්‍යකුමාර් යාදව් ලකුණු 18කට දවාගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට හැකි විය.


අනතුරුව පිටියේ එක්වන රවීන්ද්‍ර ජඩේජා හා හර්දික් පාන්ඩ්‍යා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඉන්දියාවට අවසන් පන්දුවාර තුන තුළදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 32ක් අවශ්‍ය විය. අවසන් පන්දුවාරය වන විට ජයග්‍රහණය අවශ්‍ය ලකුණු ගණන 7ක් දක්වා අඩුකරන්නට ජඩේජා හා පාන්ඩ්‍යා සමත් විය.


අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 35ක් රැස්කොට සිටි ජඩේජා දවාගැනීමට මොහොමඩ් නවාස්ට හැකිවිය. නමුත් අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදී හයේ පහරකින් තරගය අවසන් කිරීමට හර්දික් පාන්ඩ්‍යා සමත් විය. පාන්ඩ්‍යා පන්දු 17කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 33ක් රැස්කළේය. තරගයේ වීරයා ලෙසින් හර්දික් පාන්ඩ්‍යා සම්මාන ලබද්දී පාකිස්තානය වෙනුවෙන් මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ නසීම් ශාහ් කඩුලු 2ක් හා මොහොමඩ් නවාස් කඩුලු 3ක් බිදහෙලීය.

315 views0 comments