• Chathura Ramanayake

පාන්ට් හා පාන්ඩ්‍යා ඉන්දීය කණ්ඩායම තරගාවලි ජයක් කරා රැගෙන යයි..



සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේදී මැන්චෙස්ටර්හිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 12ක් තුළ දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත් වූයේ ජොනී බෙයාස්ටෝ හා ජෝ රූට් ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවමිනි. අනතුරුව බෙන් ස්ටෝක්ස් හා ජේසන් රෝයි තෙවන කඩුල්ලට ලකුණු 54ක සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු 41කට දවාගත් පාන්ඩ්‍යා බෙන් ස්ටෝක්ස්ගේ ඉනීමද ලකුණු 27කට සීමා කළේය.


එංගලන්තය වෙනුවෙන් නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 60ක් රැස්කළේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. එංගලන්තය වෙනුවෙන් මොයීන් අලි ලකුණු 34ක්ද ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 27ක්ද රැස්කළ අතර ක්‍රෙග් ඕවර්ට්න් ඉනීමේ අගභාගයේදී තවත් ලකුණු 32ක් එක් කරන්නට විය. ඒ අනුව පන්දුවාර 45 පන්දු 5ක් අවසානයේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී ගියේ ලකුණු පුවරුව 259ක් ලෙසින් දිස්වන විටදීය. පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්‍යා ලකුණු 24කට කඩුලු 4ක්ද යුෂ්වේන්‍ද්‍රන් චහල් ලකුණු 60කට කඩුලු 3ක්ද බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනාම ලකුණු 38ක්වන විට ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් කරන්නට රීස් ටොප්ලී සමත් විය. අනතුරුව සූර්‍යකුමාර් යාදව් හා රිෂාබ් පාන්ට් සිව්වන කඩුල්ලට ලකුණු 34ක් එක් කළද සූර්‍යකුමාර් යාදව් ලකුණු 16කදී දවාගැනීමට ක්‍රෙග් ඕවර්ට්න් සමත් විය. පිටියට එක්වන හර්දික් පාන්ඩ්‍යා , රිෂාබ් පාන්ට් සමගින් එක්ව ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නංවන්නට විය.


පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සිය,වගකීම නොපිරිහෙලා ඉටුකරන්නට වගබලාගත් හර්දික් පාන්ඩ්‍යා පන්දු 55කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 71ක් රැස්කළේය. පාන්ට් හා පාන්ඩ්‍යා අතරෙහි පස්වන කඩුල්ලට ලකුණු 133ක සබදතාවක් ගොඩනැගුණි. පාන්ඩ්‍යාගේ දැවී යාමෙන් අනතුරුව විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කළ රිෂාබ් පාන්ට් සිය මංගල එක්දින ශතකයද වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.


පන්දුවාර 42 එක් පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය. රිෂාබ් පාන්ට් පන්දු පන්දු 113කදී හතරේ පහර 16ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවුනු ලකුණු 125ක් රැස්කළේ තරගයේ වීරයා බවටද පත් වෙමිනි. එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය තරග 2-1ක් ලෙසින් ඉන්දියාව සතු වද්දී තරගාවලියේ වීරයා ලෙසින් හර්දික් පාන්ඩ්‍යා සම්මානයට පාත්‍ර විය


එංගලන්තය - 259/10

ජෝස් බට්ලර් 60(80), ජේසන් රෝයි 41(31), මොයීන් අලි 34(44)

හර්දික් පාන්ඩ්‍යා 4/24, යුෂ්වේන්‍ද්‍රන් චහල් 3/60, මොහොමඩ් සිරාජ් 2/66


ඉන්දියාව - 261/5

රිෂාබ් පාන්ට්* 125(113), හර්දික් පාන්ඩ්‍යා 71(55)

රීස් ටොප්ලී 3/35

9 views0 comments