• Chathura Ramanayake

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ගිය පහකට කොවිඩ් !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් බර්මින්ග්හැම් බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇත. මෙවර බර්මින්ග්හැම් බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඇතුළු සාමාජිකයන් 160 දෙනෙකුගෙන් සමන්විත විය.


පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්වූ සියලු සාමාජිකයන් මේ වන විට ක්‍රීඩා ගම්මානයේ රැදීසිටින අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ක්‍රීඩකයන් සිව්දෙනෙකු හා එක් පුහුණුකරුවකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු විය. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කොට ඇති අතර එහි සදහන් වන අන්දමට ජිම්නාස්ටික් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පුහුණුකරුද, පැසිපන්දු ක්‍රීඩකයෙකු හා රග්බි ක්‍රීඩිකාවක් මෙලෙසින් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත.


මින් පෙර පිරිමි රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කවිඳු පෙරේරා සහ අදීෂ වීරතුංග දිවයිනෙන් පිටත්ව යාමට පෙර කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ අතර ඔවුන් වෙනුවට ඉරෝෂන් සිල්වා සහ රමේෂ් ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් වූහ. බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු, ස්කොෂ් ක්‍රීඩකයෙකු සහ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු ද පිටත්ව යාමට පෙර ධනාත්මක බව තහවුරු වූ අතර ඔවුන් නිරෝධායනයේ සිටින බවට ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනයෙහි සදහන්ය.

0 views0 comments