• Chathura Ramanayake

පොදුරද මඬුලු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්ව ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රන් පදක්කම උරුමකර දෙමිනි. ඒ බර්මින්ග්හැම්හිදී පැවති අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.


ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ඇලීසා හේලි සමගින් බෙත් මූනිය. ආරම්භක කඩුල්ලට ලකුණු 9ක් එක්වන තැන ඇලීසා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට රේණුකා සිං සමත් විය. අනතුරුව මෙග් ලැනින් හා බෙත් මූනි එක්ව දෙවන කඩුල්ලට ලකුණු 74ක් එක් කළහ. මෙග් ලැනින් ලකුණු 36ක් රැස්කොට සිටියදී දුවද්දී දැවීයාමට හසුවිය. ඈෂ්ලීහ් ගාඩ්නර් පන්දු 15කදී ලකුණු 25ක් රැස්කිරීමට ඊයේ දිනයේදී සමත් විය.


ඕස්ට්‍රේලියානු ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ බෙත් මූනි පන්දු 41කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය. රීචෙල් හේන්ස් පන්දු 10කදී ලකුණු 18ක් ඕස්ට්‍රේලියානු ඉනීමට එක් කරද්දී නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 8කට ලකුණු 161ක් ලෙසිනි. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රේනුක සිං හා ස්නේහ් රනා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගලයම ලකුණු 22ක් තුළදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් විය. අනතුරුව ජෙමිමා රොඩ්‍රිග්ස් හා හර්මන්ප්‍රීත් කෞර් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 96ක අගනා සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ජෙමිමා රොඩ්‍රිග්ස් පන්දු 33කදී ලකුණු 33ක් රැස්කිරීමට සමත් විය. නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ හර්මන්ප්‍රීත් කෞර් පන්දු 43කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 65ක් රැස්කොට සිටියදී දවාගැනීමට ඈෂ්ලීහ් ගාඩ්නර්ට හැකිවිය.


හර්මන්ප්‍රීත් කෞර් දැවීයන විට ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 25කදී ලකුණු 41ක් අවශ්‍යව තිබුණි. නමුත් පසුපෙළ හා මැදපෙළ ඉන්දීය ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිඩිකාවන් සියලු දෙනා ලකුණු 152කදී දවාගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් විය. දීප්ති ශර්මා ලකුණු 13ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකාරිණියන් පස්දෙනාම ලකුණු 10 සීමාව ඉක්මවන්නට අසමත් විය. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 9ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූයේ පළමු වරට පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් ඉසව්වෙහි රන් පදක්කම දිනාගනිමිනි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඈෂ්ලීහ් ගාඩ්නර් කඩුලු 3ක් හා මේගන් ශූට් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.


AUSTRALIA WOMEN : 161/8(20 Overs)

Beth Mooney61 (41), Meg Lanning 36 (26)

Renuka Singh 2/25 (4) ,Sneh Rana 2/38 (4)


INDIA WOMEN : 152/10(19.3 Overs)

Harmanpreet Kaur 65 (43), Jemimah Rodrigues 33 (33)

Ashleigh Gardner 3/16 (3), Megan Schutt 2/27 (4)

17 views0 comments