• Chathura Ramanayake

පොදුරද මඩුලු කෙළිබිමේ ශ්‍රී ලාංකිකයන් ඊයේ මුහුණ දුන් තරග තොරතුරු !!!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වන දිනයේ තරග බර්මින්ග්හැම්හිදී ඊයේ පැවැත්විණි. ඊයේ දිනයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ඉසව් වෙනුවෙන් බර්මින්ග්හැම් තරගබිමට පිවිසියහ. ඒ අතුරින් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී බර ඉසිලීමේ ශූර චින්තන ගීතාල් විදානගේ 81 බරපන්තිය යටතේ තරග වැදුනි. එම ඉසව්වෙහිදී ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 127ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 155ක බර ප්‍රමාණයක්ද ඔසවන්නට ඔහු සමත් වද්දී එම තරගයේ නව වන ස්ථානය ඔහුට හිමි විය.


ඊයේ දිනයේදී ජූඩෝ කිලෝග්‍රෑම් 60 බරපන්තිය යටතේ විමුක්ති ප්‍රේමරත්න අවසන් ක්‍රීඩකයන් 16 දෙනාගේ තරග වටයේදී තරග වැදුනු අතර එහිදී ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වන්නට ඔහුට සිදුවිය. එමෙන්ම කාන්තා ජූඩෝ කිලෝග්‍රෑම් 45 බර පන්තිය යටතේ චමිලා මාරප්පුලිගේ තරග වැදුනු අතර ඇයද වේල්ස් ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත්විය. ඊයේ දිනයේදී කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න තරග වැදුනු අතර ඇය සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් විනාඩි 2 තත්පර 26.63කදී එම ඉසව්ව නිමා කළද ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.


ස්කොෂ් ක්‍රීඩිකා චනිත්මා සිනාලි ඊයේ දිනයේදී ප්ලේට් කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළ අතර එහිදී ඉන්දීය ක්‍රීඩිකාවක් හමුවේ වට 3-0ක්.ලෙසින් පරාජයට පත් වන්නට ඇයට සිදුවිය. ඊයේ දිනයේදී පොදුරද මඩුලු බොක්සිං වළලේදීද ශ්‍රී ලංකා නියෝජනයන් ද්විත්වයක් දැකගත හැකිවිය. ඊයේ දිනයේ Flyweight බරපන්තිය යටතේ තරග වැදුනු ඉෂාන් සෙනවිරත්න එංගලන්ත ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත් වද්දී FeatherWeight බරපන්තිය යටතේ තරග වැදුනු ජීවන්ත කුමාර ගයානා ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත් විය.

28 views0 comments