• Chathura Ramanayake

පොදුරද මඩුලු කෙලිබිමේ තෙවන දිනයේ ශ්‍රී ලාංකිකයන්ගේ දස්කම් !!!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පදක්කම් කිහිපයක් පිළිබඳව බලාපොරොත්තු විනාශ කර දමමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ දිනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තරග වැදුනු ආකාරය පහත පරිදි විය.


ඊයේ දිනයේදී ජිම්නාස්ටික් ක්‍රීඩක රුචිර ප්‍රනාන්දු Artistic ජිම්නාස්ටික් ඉසව්වෙහි All Around පිරිමි අවසන් මහා තරගයට සහභාගී විය. එහිදී ලකුණු 65.050ක් රැස්කිරීමට රුචිරට හැකි වද්දී ඔහුට මෙම ඉසව්වෙහි 16වන ස්ථානය හිමි විය. අනතුරුව කිලෝග්‍රෑම් 67 බරපන්තිය යටතේ චතුරංග ලක්මාල් බර ඉසිලීමේ ඉසව්වට සහභාගී විය.එහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 119ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 140ක්ද ඔසවමින් එම ඉසව්වෙහි පස්වැන්නා බවට පත් වන්නට ඔහුට හැකිවිය.

පිරිමි සත්සාමාජික රග්බි ඉසව්වෙහි 13 වන ස්ථානය තේරීම සදහා පැවති අවසන් පූර්ව තරගයේදී සැම්බියාව ලකුණු 27ට 14ක් ලෙසින් පරාජයට පත්කරන්නට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. නමුත් 13 වන ස්ථානය තේරීම සදහා පැවති තරගයෙන් ලකුණු 26-24ක් ලෙසින් ජැමෙයිකාව හමුවේ පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ රග්බි සත්සාමාජික ඉසව්වෙහි 14වැනි තැනට පත් වෙමිනි.


ඊයේ දිනයේදී මිශ්‍ර බැඩ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථිවාදීන් බවට පත් වූයේ ප්‍රභල මැලේසියානු කණ්ඩායමයි. එම ඉසව්ව තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට මැලේසියාව සමත් විය. අකලංක පීරිස් ඊයේ දිනයේදී මීටර් 50 පසුපස ආර ඉසව්ව වෙනුවෙන් එක්වූ අතර එහිදී තත්පර 26.15ක කාලයකින් එම ඉසව්ව අවසන් කිරීමට ඔහු සමත් වූයේ ජාතික වාර්තාව අලුත් කරමිනි. නමුත් ඔහුට අවසන් වටය සදහා සුදුසුකම් ලැබීමට නොහැකි විය.


කාන්තා ජිම්නාස්ටික් Artistic ඉසව්වෙහි All Around අවසන් මහා තරගයට මිල්කා ගෙහානි සහභාගී වුවද ඇයට තරගය සාර්ථකව අවසන් කිරීමට නොහැකි විය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම් ද්විත්වයම තරග බිමට පිවිසියහ. ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමගින් පැවති තරගය වට 2-0ක් ලෙසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත් වද්දී කැනඩා පිරිමි කණ්ඩායම සමගින් පැවති තරගයද වට 2-0ක් ලෙසින් පරාජයට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය.


බාස්කට්බෝල් ඉසව්ව වෙනුවෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම් ද්විත්වයම ඊයේ දිනයේදී තරගබිමට පිවිසියහ. කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 21-2ක් ලෙසින් පරාජයට පත් වද්දී පිරිමි කණ්ඩායම කැනඩා කණ්ඩායම හමුවේ ලකුණු 21-8ක් ලෙසින් පරාජයට පත් විය.කාන්තා රග්බි කණ්ඩායම හත්වන ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදුනු අතර එහිදී ලකුණු 52-0ක් ලෙසින් පරාජයට පත් වන්නට සිදුවිය.


ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වූ නායක ඉන්දික දිසානායක ඊයේ දිනයේදී තරග බිමට පිවිසියේ කිලෝග්‍රෑම් 73බර පන්‍තිය යටතේයි.එහිදී ස්නැච් ක්‍රමය යටතේ ඔහු කිලෝග්‍රෑම් 133ක් එසවූ නමුත් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ඔහුගේ ප්‍රයන්ත තුනම අසාර්ථක වීම හේතුවෙන් සාර්ථකව තරගය අවසන් කිරීමට ඔහුට නොහැකි විය. ඊයේ දිනයේදී ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වෙහි ක්‍රීඩිකාවන් 16 දෙනාගේ ප්ලේට් කොටසේ තරගයකදී බොට්ස්වාන ක්‍රීඩිකාවක් වට 3-0ක් ලෙසින් පරාජයට පත්කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකා චනිත්මා සිනාලි සමත්කම් දැක්විය.

31 views0 comments