• Chathura Ramanayake

පුජාරාගෙන් Warwickshire පිළට එරෙහිව වේගවත් ශතකයක් !!



රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙයි. තරගාවලියේ ඊයේ පැවති තරගයකදී අගනා ශතකයක් වාර්තා කිරීමට සසෙක්ස් කණ්ඩායමේ නායක චෙටේෂ්වර් පුජාරා සමත් විය. බර්මින්ග්හැම් පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් වෝවික්ෂයර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන වෝවික්ෂයර් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 310ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු රොබ් යේට්ස් පන්දු 111කදී හතරේ පහර 14ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 114ක් රැස්කළේය. තවද නායක විල් රෝඩ්ස් ලකුණු 70ක්ද කඩුලු රකින ක්‍රීඩක මයිකල් බර්ගස් ලකුණු 58කින්ද වෝවික්ෂයර් ඉනීම සවිමත් කරන්නට විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සසෙක්ස් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් එතරම් වේගයෙන් පන්දුවට පහර දෙන ආකාරය දක්නට නොලැබිණි. ආරම්භක පිතිකරු අලී ඕර් පන්දු 102ක් තුළදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 81ක් රැස්කළේය. නමුත් නායක චෙටේෂ්වර් පුජාරා සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යාමට වේගවත් පිතිහරඹයක නිරත වන්නට විය.


පුජාරා පන්දු 51කදී සිය අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූ අතර ඉන් පසු ඉනීම වේගවත් කළේය. සසෙක්ස් ඉනීමේ හතළිස් පස්වන පන්දුවාරයේදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 22ක් රැස්කිරීමට පුජාරා සමත් විය. ඉනීමේ 49වන පන්දුවාරයේ පළමු පන්දුවේදී පුජාරා දැවී යන්නේ ජයග්‍රහණයට පන්දු 11කදී ලකුණු 20ක් අවශ්‍යව තිබියදීය.


ඉන්දීය පිතිකරු චෙටේෂ්වර් පුජාරා සසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 79ක් තුළදී ලකුණු 107ක් රැස්කිරීමට සමත් විය. බර්මින්ග්හැම් ක්‍රීඩාංගණය පුරාවට එල්ල කළ හතරේ පහර 7ක් හා හයේ පහර 2කින් පුජාරාගේ ඉනීම වර්ණවත් විය. සසෙක්ස් කණ්ඩායමට පන්දුවාර 50 තුළ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 306ක් පමණි. ඒ අනුව ලකුණු 4ක,විශිෂ්ඨ ජයක් වෝවික්ෂයර් කණ්ඩායමට හිමිවිය. වෝවික්ෂයර් කණ්ඩායම වෙනුවෙන් කෘනල් පාන්ඩ්‍යා ලකුණු 51කට කඩුලු 3ක් බිදහෙලීය.


WARWICKSHIRE 310/6(50 Overs)

Rob Yates 114 (111), Will Rhodes 76 (70)

Bradley Currie 2/51 (10), Aristides Karvelas 2/44 (8)


SUSSEX 306/7(50 Overs)

Cheteshwar Pujara 107 (79), Ali Orr 81 (102)

Krunal Pandya 3/51 (10), Oliver Hannon-Dalby 2/55 (10)

53 views0 comments