• Shahan Fernando

පාකිස්ථානයත් පරදවමින් සිංහ පුතුන් අපරාජිතව අවසන් මහා තරඟයට.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරඟය අද රාත්‍රියේ අවසන් වුනේ ශ්‍රී ලංකාවට ජය හිමිකරදෙමින්. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.




ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පාකිස්තාන නායක බාබර් අසාම් සහ ආසියානු කුසලානයේ දෙවන වැඩිම ලකුණු ලාභියා වන මොහොමඩ් රිස්වාන්. ඔවුන් දෙදෙනාගේ ආරම්භක සම්බඳතාව ලකුණු 28 කට සීමා කිරීමට අද දිනයේදී සිය මංගල විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කරන වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් සමත් වුණා. ඒ තරඟාවලිය පුරාවට සාර්ථක වුණු මොහොමඩ් රිස්වාන් ගේ ඉණිම ලකුණු 14කට සීමා කරමින්.


ඉන් අනතුරුව පිටියේ එක්වුණු නායක බාබර් සහ ෆකර් සමාන් දෙවන කඩුල්ලට ලකුණු 35ක් එක කිරීමට සමත් වුණා. මන්දගාමී ඉණිමක් දියත් කළ ෆකර් සමාන් චාමික කරුණාරත්න ගේ පන්දුවක් හමුවේ ලකුණු 13කට දැවී යද්දී ලකුණු පුවරුව පන්දුවාර 9යි පන්දු දෙකකට ලකුණු 62/2 ක් ලෙස සටහන් වුණා.


පාකිස්ථාන ඉනිමට තවත් ලකුණු 5ක් එක්වන විට පන්දු 29 කින් ලකුණු 30ක් ලබාගෙන සිටි පාකිස්තාන නායක බාබර් අසාම් වනිඳුගේ පන්දුවක් හමුවේ දැවීගියා. ඉන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් අතරින් මොහොමඩ් නවාස් හැරුණුකොට වෙනත් කිසිදු පිතිකරුවෙක්ට පිටියේ සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ.


වනිඳු හසරංග පන්දු වාර හතර අවසානයේ ලකුණු 21කට කඩුලු තුනක් දවාගෙන ඉණිමේ ඉහලම කදුලු ලාභියා බවට පත්වුණා. ප්‍රමෝද් මධුශාන් සහ මහිෂ් තීක්ෂණ කඩුළු දෙක බැගින් දවාගත් අතර චාමික කරුණාරත්න සහ ධනංජය ඩි සිල්වා සහ එක කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වුණා.


ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ප්‍රභල පාකිස්ථාන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 121කට සීමා වුණා. ඉනිමේ අවසන් භාගයේ දී හුදකලා සටනක නිරත වුණු මොහමඩ් නවාස් පන්දු 18 කින් ලකුණු 28ක් රැස් කළා.



පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට එතරම් සාර්ථක වන්නට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉණිම ලකුණු 29ක් වන විට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු නොලබාද, ධනංජය ඩි සිල්වා ලකුණු 9 කටද දැවී ගියේ ශ්‍රී ලංකාව අසීරු අඩියකට ඇද දමමින්.


නමුත් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරා මෙහෙයවන සම්බන්දතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ සිව්වන කඩුල්ලකට ලකුණු 51ක විශිෂ්ට සම්බන්දතාවක් එක්කලා. පන්දු 19 කින් ලකුණු 24ක් වාර්තා කල භානුක දැවී යද්දී ශ්‍රී ලංකාව ලකුණු 80ට කඩුලු 4ක් ලෙස ශක්තිමත් අවදියක පසුවුණා.


ඉන් අනතුරුව පිටියේ එක්වුණු නායක දසුන් ශානක සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉණිම ලකුණු 113ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා. ජයග්‍රහණය පෙනෙන මානයේ දී ලකුණු 21ක් ලබාගෙන සිටි නායක දසුන් ශානක දැවී ගියා.


සමස්ථ හඹායාමේ බර කරට ගනිමින් වගකීම් සහගත ඉණිමක් දියත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකාය සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 48 කින් ලකුණු 55ක් ලබාගත් පැතුම් ගේ ඉණිමට හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුනා.


ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තමන් සහභාගී වූ තරඟ තිත්වයම ජයගත් ශ්‍රී ලංකා අපරාජිතව සුපිරි සිව්දෙනාගේ වටය නිමාකළේ ලකුණු සටහනේ පළමු තෙන තහවුරු කරමින්. ඒ අනුව ඔවුන් ඉරිදා (11) දිනයේදී අවසන් මහා තරඟයට ජයග්‍රාහි මානසිකත්වයකින් පිවිසෙනු ඇත.



878 views0 comments