• Chathura Ramanayake

පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් ද්විත්වයම මේ වන විටත් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් සිටියි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව Creedanet අප ගෙන එන සටහනක් මෙතැන් පටන්...


පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දශක 4ක් ඈතට දිවයන්නකි. දෙරට අතර පළමු වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1982 වසරේ මාර්තු මස 5වන දිනයි. කරච්චිහිදී පැවති එම තරගයෙන් ලකුණු 204ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලැබූවේ 1986 වසරේදීය. කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පැවති එම තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


දෙරට අතර මේ වන විටත්  ටෙස්ට් තරග 55 පවත්වා ඇති අතර ඉන් තරග 20ක ජයග්‍රහණය හිමිකරගැනීමට පාකිස්තානුවන් සමත් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 16ක් ජයගෙන ඇති අතර දෙරට අතර පැවැත් වූ ටෙස්ට් තරග 19ක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත. දෙරට අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගය පාකිස්තාන කණ්ඩායම ලකුණු 263කින් ජයග්‍රහණය කරද්දී එම තරගාවලියේ ජයග්‍රහණයද පාකිස්තානය සතු වූයේ තරග 1-0ක් ලෙසිනි. ශ්‍රී ලංකාව හා පාකිස්තානය ටෙස්ට් ක්‍රිකට් පිටියේදී තරගාවලි 20ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරගාවලි 9ක් පාකිස්තානය ජයගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරගාවලි 6ක් පමණි.


දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනීමකදී කණ්ඩායමක් රැස්කොට ඇති ඉහළම ලකුණු ගණන වනුයේ පාකිස්තාන කණ්ඩායම 2009 වසරේදී කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 765යි. එම තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 644ක් රැස්කළ අතර එය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ඉනීමක රැස්කළ ඉහළම ලකුණු ගණනයි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වනුයේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර පාකිස්තානයට එරෙහිව තරග 23කට ක්‍රීඩා කරමින් ලකුණු 2911ක් රැස්කොට ඇත්තේ 74.64ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි.


දශක හතරක් ඉපැරැණි දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන රංගන හේරත් තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 106ක් බිදහෙලා ඇත්තේ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 8ක්ද සමගිනි. කඩුලු රකින්නන් දෙස අවධානය යොමු කිරීමේදී වැඩිම දවාගැනීම් ප්‍රමාණයකට දායක වී ඇති ක්‍රීඩකයා වන මොයීන් ඛාන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 16කට ක්‍රීඩා කරමින් දවාගැනීම් 40ක් සිදු කොට ඇත. වැඩිම උඩපන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයා බවට මහේල ජයවර්ධන පත්ව ඇත්තේ තරග 29කදී උඩපන්දු 37ක් රැකගනිමිනි.


පාකිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් දත්ත


තරග - 55

ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණ - 16

පාකිස්තානය ලද ජයග්‍රහණ - 20 ජයපරාජයෙන් තොර තරග - 19

ඉනීමක රැස්කළ වැඩිම ලකුණු - ලකුණු 765ක් කඩුලු 6කට පාකිස්තානය විසින්

ඉනීමක අඩුම ලකුණු - ලකුණු 71ක් ශ්‍රී ලංකාව විසින්


ක්‍රීඩක දත්ත


ඉනීමක ඉහලම ලකුණු ලාභියා - යුනිස් ඛාන් 313

හොදම පිතිකරණ සාමාන්‍ය - කුමාර් සංගක්කාර 74.64

වැඩිම ශතක - කුමාර් සංගක්කාර 10

ඉනීමක හොදම පන්දු යැවීම - රංගන හේරත් 9/127


වැඩිම ලකුණු ලාභීන්

කුමාර් සංගක්කාර - 2911

යුනිස් ඛාන් - 2286

මහේල ජයවර්ධන - 1687

ඉන්සමාම් උල් හක් - 1559

සනත් ජයසූරිය - 1490


වැඩිම කඩුලු ලාභීන්

රංගන හේරත් - 106

මුත්තයියා මුරලිදරන් - 80

සයීඩ් අජ්මාල් - 66

වසීම් අක්‍රම් - 63

වකාර් යුනිස් - 56

0 views0 comments