• Shaminda Jayarathne

පාකිස්තාන - නෙදර්ලන්ත පළමු එක්දින තරඟයේ තියුණු සටනක්!

නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පැවති පළමු එක්දින තරඟය ඊයේ දිනයේදී නිමාවට පත්වුණේ පාකිස්තානයට ලකුණු 16 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්. දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟය ලෙසින් මෙය ක්‍රියාත්මක වුණා.


මුළින්ම පන්දුවට පහර දීමට පැමිණි පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් බිඳ වැටී ලකුණු 314ක් රැස් කළා. පාකිස්තානය වෙනුවෙන් තම 7 වන එක්දින ශතකය රැස්කරගත් ෆකර් සමාන් ලකුණු 109 ක අගනා ඉනිමක් දියත් කිරීමට සමත් වුණා.


පාකිස්තානය වෙනුවෙන් දස්කම් දැක්වූ නායක බාබර් අසාම් ලකුණු 74ක් සහ ඉනිමේ අග භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශඩාබ් කාන් ලකුණු 48ක් වශයෙන් ලකුණු රැස් කළා. පන්දු යැවීමේදී නෙදර්ලන්තය වෙනුවෙන් ලොගාන් වැන් බීක් සහ බස් ඩේ ලීඩ් කඩුලු 2 බැගින් බිඳෙහෙළුවා.


ලකුණු 315 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට ආ නෙදර්ලන්ත ක්‍රීඩකයින් තරඟය අතහැරියේ නෑ. නෙදර්ලන්ත මුල් කඩුලු 3 ලකුණු 62ක් තුළ බිඳ වැටුණත් ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිං ලකුණු 62ක්, ටොම් කූපර් ලකුණු 65ක් වශයෙන් පිත්තෙන් දස්කම් දැක්වූවා.


ඉනිමේ අවසන් මොහොත වනතුරු සටන අත් නොහැරි ස්කොට් එඩ්වර්ඩ්ස් පන්දු 60ක් තුළදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක්ද සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 71ක්. නමුත් අවාසනාවන්ත ලෙසින් නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 50 අවසන් වද්දී ලකුණු 298 කට කඩුලු 8ක් ලෙස සටහන් වුණා. පාකිස්තානය වෙනුවෙන් හැරිස් රාවුෆ් සහ නසීම් ශා කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.


තරඟ සාරාංශය


පාකිස්තානය 314-6 (50)

ෆකර් සමාන් 109(109), බාබර් අසාම් 74(85), ශඩාබ් කාන් 48(28)*

බස් ඩේ ලීඩ් 42/2, ලොගාන් වැන් බීක් 89/2


නෙදර්ලන්තය 298-8 (50)

ස්කොට් එඩ්වර්ඩ්ස් 71(60)*, ටොම් කූපර් 65(54), වික්‍රම්ජිත් සිං 65(98)

නසීම් ශා 51/3, හැරිස් රාවුෆ් 67/3

29 views0 comments