• Chathura Ramanayake

පාකිස්තානය මෙවරත් මැතිව් හේඩ්න් සමගින් ලෝක කුසලානයට


එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදීද පාකිස්තාන කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙසින් මැතිව් හේඩ්න් නම් කොට ඇත. මැතිව් හේඩ්න් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදීද පාකිස්තාන කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙසින් කටයුතු කළේය.


හේඩ්න්ගේ උපදේශනය යටතේ පසුගිය වසරේ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට පාකිස්තානයට හැකිවිය. ඕස්ට්‍රේලියානු තණතීරු පිළිබඳව මනා අවබෝධයක් ඇති මැතිව් හේඩ්න් මෙවර තරගාවලිය වෙනුවෙන් එක් කොට ගැනීම පාකිස්තාන කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

" මම මෙවරද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරනවා. ආසියානු කුසලාන තරගාවලියේ ඔවුන් දස්කම් දක්වන ආකාරය හා ඉන්දියාවට එරෙහිව ලද විශිෂ්ඨ ජයග්‍රහණය මම දුටුවා"
" මම හිතනවා පාකිස්තාන කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේදී දස්කම් පාන්නට ඕන පන්දු යැවීම පිතිකරණ වගේ දේවල් තියෙනවා. මම හිතනවා ඔවුන් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී වගේම මෙවරත් දස්කම් දක්වාවි කියලා. ඕස්ට්‍රේලියාව තුළ සියලු තත්වයන් හා මගේ අත්දැකීම් පිළිබඳව දැනුම ලබාදීමට අවස්ථාව ලැබීමට ලැබීම මට හම්බුනු වරප්‍රසාදයක් වගේ හැගෙනවා."

පාකිස්තාන කණ්ඩායම නවසීලන්තයේදී තුන්කොන් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමට නියමිතය. මැතිව් හේඩ්න් එළඹෙන ඔක්තෝබර් මස 15වනදා පාකිස්තාන කණ්ඩායම සමගින් එක්වීමට සූදානමින් පසුවෙයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග 2කදී ඇෆ්ගනිස්තානය හා එංගලන්තයට එරෙහිව පාකිස්තාන කණ්ඩායම තරග වදී. පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ඔක්තෝබර් මස 23වනදා මෙල්බන්හිදී මූලික වටයේදී මුණගැසීමට නියමිතය.


3,518 views0 comments