• Chathura Ramanayake

පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක් !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය සිව්වන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් ලකුණු 378ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තානය සිය පළමු ඉනීමට රැස්කළේ ලකුණු 231ක් පමණි. සිව්වන දිනය වූ ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනීම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස්කොට සිටියහ.


ඊයේ දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න හා ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට විය. නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 6000 සීමාව පසුකර යන්නට සමත් විය. ඔහු ඊයේ දිනයේදී සිය 31වන ටෙස්ට් අර්ධශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා සමගින් එක්ව හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සබදතාවක් ගොඩනගන්නට විය. දිමුත් කරුණාරත්න ලකුණු 61ක් රැස්කොට සිටියදී නවුමන් අලී හමුවේ දැවී ගියේය.


මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 18කදී දවාගැනීමට මොහොමඩ් නවාස් සමත් විය. දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 297ක් රැස්කොට සිටියහ. දිවා විවේකයෙන් අනතුරුව ධනංජය සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ නවවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ධනංජයට අගනා සහයක් ලබාදුන් රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනීමට වේගවත් නොදැවුනු ලකුණු 45ක් එක් කළේය. ශ්‍රී ලංකා දෙවන ඉනීමේ නැංගුරම බවට පත් වූ ධනංජය සිල්වා පන්දු 171කදී හතරේ පහර 16ක් සමගින් ලකුණු 109ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී ගියේය. ධනංජයගේ දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා ඉනීම අත්හිටුවීමට තීරණය කළ අතර ඒ වන විටත් ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 360ක් ලෙසින් දිස්විය.


ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 508කි. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය තරමක් ස්ථාවර වන්නට සැරසෙද්දී ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය අබ්දුල්ලා ශාෆික්ගේ ඉනිම ලකුණු 16කදී නිමාවට පත් කළේය. තේ පැන් පානයට තරගය නතර කරන විට පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් රැස්කොට සිටියහ. දිනයේ තෙවන අර්ධය තුළදී අයහපත් ආලෝක තත්වය හේතුවෙන් යොමුකළ හැකිවූයේ පන්දුවාර 6ක් පමණි. පාකිස්තාන කණ්ඩායමට අද දිනයේදී කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 419ක් රැස්කිරීමට සිදුවනු ඇත.


ශ්‍රී ලංකා පළමු ඉනීම : 315/6 (86.0)

දිනේෂ් චන්දිමාල් 80(137),නිරෝෂන් දික්වැල්ල 51(54), ඕෂධ ප්‍රනාන්දු 50(70), ඇන්ජලෝ මැතිවුස් 42(106)

නසීම් ශාහ් 3/58, යසීර් ශා 3/83


පාකිස්තාන පළමු ඉනීම : 231/10 (88.1) අගා සල්මන් 62(126), ඉමාම් උල් හක් 32(54), යසීර් ශා 26(97)

රමේෂ් මෙන්ඩිස් 5/47 , ප්‍රභාත් ජයසූරිය 3/80, ධනංජය ද සිල්වා 1/15


ශ්‍රී ලංකා දෙවන ඉනීම : 360/8d (91.5) ධනංජය ද සිල්වා 109(171), දිමුත් කරුණාරත්න 61(105), රමේෂ් මෙන්ඩිස්* 45(54)

නසීම් ශාහ් 2/44, මොහොමඩ් නවාස් 2/75


පාකිස්තාන දෙවන ඉනීම : 81/1 (28)

ඉමාම් උල් හක්* 46(80), බාබර් අසාම්* 26(38) ප්‍රභාත් ජයසූරිය 1/46

0 views0 comments