• Chathura Ramanayake

පාකිස්තානයට එරෙහි ආසියානු කුසලාන අවසන් මහා තරග වල වැඩි ගෞරව ශ්‍රී ලංකාවට


ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පාකිස්තාන හා ශ්‍රී ලංකාව මේ වන විටත් සිය පුහුණුවීම් වල නිරත වෙයි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලාන අවසන් මහා තරගය ඉතිහාසය පිළිබඳව Creedanet අප ගෙන එන ලිපියක් මෙතැන් පටන්...


ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භය වසර 1984 දක්වා ඈතට දිව යන්නකි. දිගු ඉතිහාසයකට හිමිකම් කියනා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වූ අදියර 14 තුළ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් මහා තරගයකදී මුණගැසෙන්නේ අවස්ථාවන් තුනකදී පමණි. එම අවස්ථාවන් තුන අතුරින් දෙවරක්ම පාකිස්තානය පරාජයට පත් කරමින් ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම පළමු වරට ආසියානු කුසලාන අවසන් මහා තරගයකදී මුණ ගැසෙන්නේ 1986 වසරේ පැවති තරගාවලියේදීය. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් හිමිකරගනිමින් පළමු වරට ආසියානු කුසලානය දිනාගන්නට එවක ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. පන්දුවාර 45කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 191ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන ජාවෙඩ් මියන්ඩාඩ් ලකුණු 67ක් රැස්කරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක කෞෂික් අමාලියන් ලකුණු 46කට කඩුලු 4ක් බිදහෙලන්නට විය.ඉලක්කය හබාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 5ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගනිද්දී අර්ජුන හා අරවින්ද ලකුණු 57ක් හා 52ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.



ශ්‍රී ලංකාව හා පාකිස්තානය නැවත වරක් ආසියානු කුසලාන අවසන් මහා තරගයකදී මුණ ගැසෙන්නේ 2000 වසරේ බංග්ලාදේශයේ පැවති තරගාවලියේදීය. ඩකාහිදී පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 277ක් රැස්කළහ. ආරම්භක පිතිකරු සයීඩ් අන්වර් ලකුණු 82ක් රැස්කරද්දී ඉන්සමාම් උල් හක් නොදැවී ලකුණු 72ක් ද මොයීන් ඛාන් පන්දු 31කදී වේගවත් නොදැවුනු ලකුණු 56ක්ද රැස්කිරීමට සමත් විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ඉනීම ලකුණු 238කට සීමා කරන්නට පාකිස්තාන පන්දු යවන්නන් වගබලාගත්හ. ශ්‍රී ලංකා ඉනීමේ නැංගුරම බවට පත් වූ මාවන් අතපත්තු ලකුණු 100ක් රැස්කළ අතර පන්දු යැවීමේදී වසීම් අක්‍රම් හා අර්ශාඩ් ඛාන් කඩුලු 2ක බැගින් බිදහෙලීය. පාකිස්තාන කණ්ඩායම ආසියානු කුසලාන ශූරතාවය පළමු වරට දිනාගනු ලැබූයේද මෙම තරගාවලියේ දී වීම සුවිශේෂීය.



අවසන් වරට පාකිස්තානය හා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයකදී මුණ ගැසෙන්නේ 2014 ආසියානු කුසලාන තරගාවලියේ දීය. බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ කඩුලු 5කට ලකුණු 260ක් රැස්කළහ. පාකිස්තානය වෙනුවෙන් ෆවඩ් අලාම් නොදැවුනු ලකුණු 114ක්ද මිස්බා උල් හක් හා උමාර් අක්මාල් පිළිවෙලින් ලකුණු 65 හා 59ක් බැගින් රැස්කිරීමට සමත් වූහ. පාකිස්තාන ඉනීමේ කඩුලු 5ම දවාගැනීමට සමත් වූයේ ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ඉලක්කය හඹායාමට සමත් වූයේ පස්වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් අභිෂේක ලබමිනි. ඉලක්කය හබායාමේදී ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු 101ක් රැස්කළ අතර මහේල ජයවර්ධන ලකුණු 75ක් හා කුසල් පෙරේරා ලකුණු 42කින් ඊට අගනා සහයක් ලබා දුන්හ.


ඒ අනුව 2014 වසරෙන් අනතුරුව පාකිස්තානය හා ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා නොමැති අතර මෙම කණ්ඩායම් දෙක වසර 8කට පසුව ආසියානු කුසලාන අවසන් මහා තරගයකදී මුණගැසීමට නියමිතය.


145 views0 comments