• Chathura Ramanayake

පළමුවටයේ පරාජයේ වාඩුව ගැනීමට ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට හඹායාමක්.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරග අද ආරම්භ විය. මෙම වටයේදීද පළමු තරගයේදී මුණගැසුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරාගත්තේ පෙර තරගයද හඹාගොසින් ජයගත් නිසාවෙනි.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය. ඇෆ්ගනිස්තාන ඉනීම ලකුණු 19ක් ලෙසින් දිස්වන අවස්ථාවේදී රහ්මනුල්ලා ගුර්බාස් ලබා දුන් උඩපන්දුව ධනුෂ්ක ගුණතිලක විසින් රැකගත්තද අවාසනාවන්ත ලෙසින් හතරේ සීමාව ස්පර්ශ වීම නිසාවෙන් ගුර්බාස් දවාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.


ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් රහ්මනුල්ලා ගුර්බාස් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් පන්දු 45ක් තුළදී හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 84ක් රැස්කිරීමට සමත් විය. ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 38කදී ලකුණු 40ක් රැස්කල අතර බංග්ලාදේශයට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා සද්‍රාන් ලකුණු 17ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ යොවුන් ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ලකුණු 37කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන ඉනීමේ අවසන් පන්දුවාර කිහිපය තුළදී විශිෂ්ඨ අන්දමින් පන්දු යවනු දක්නට ලැබුණි. මහීෂ් තීක්ෂණට එරෙහිව පළමු පන්දුවාර 2ක තුළ ලකුණු 22ක් රැස්කොට තිබුණද සිය පන්දුවාර හතර තුළදී ලකුණු 29ක් පමණක් ලබාදෙමින් ඇෆ්ගනිස්තාන නායකයාගේ කඩුල්ලද බිදහෙලන්නට ඔහු සමත් විය. අසිත ප්‍රනාන්දුද ලකුණු 34කට එක් කඩුල්ලක් දවාගනිද්දී වනිදු හසරංග සිය පන්දුවාර හතර ලකුණු 23කදි යවා නිම කළේය.


සාජා ක්‍රිකට් පිටියේ සාර්ථකම හඹායාම සිදුකිරීමේ අදිටනින් පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංකයි. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 62ක් එක් කරඅන්නට විය. ඇෆ්ගනිස්තාන දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන්ට එරෙහිව පන්දුවාරයකදී ලකුණු 17ක් රැස්කිරීමට ඔවුන් දෙදෙනා වගබලාගත්තේ තරගයේ පීඩනය ඇෆ්ගනිස්තානය දෙසට හරවමිනි.


කුසල් මෙන්ඩිස් පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 36ක් රැස්කළේය. පැතුම් නිස්සංක අද දිනයේදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 8කට දැවී යද්දී නායක දසුන් ශානක ඉතා අවාසනාවන්ත ලෙසින් දැවී ගියේ නජිබුල්ලා සද්‍රාන්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේයි. අනතුරුව භානුක රාජපක්ෂ හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනීම වේගවත් ලකුණු 32ක් එක් කළහ.


ධනුෂ්ක ගුණතිලක රශීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට හතරේ හා හයේ පහර 2 බැගින් එල්ල කරමින් පන්දු 20ක් තුළ ලකුණු 33ක් රැස්කොට තිබුණි. ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අසරණ කළ භානුක රාජපක්ෂ පන්දු 14කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 31ක් රැස්කළේය. වනිදු හසරංග හා චාමික කරුණාරත්න නොදැවී ලකුණු 16ක් හා 5ක් රැස්කළ අතර පන්දු 5ක් ඉතිරිව තිබියදී සාජා ක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායාම සිදුකරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් සුපිරි කණ්ඩායම් හතර වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ හිමිකරගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය.



2,569 views0 comments