• Chathura Ramanayake

පළමු වටයේ පරාජයේ වාඩුව ගැනීමට පාකිස්තානයෙනුත් සාර්ථක හඹායාමක්


ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ දෙවන තරගය අද දිනයේදී පැවැත්වූයේ පාකිස්තානය හා ඉන්දියාව අතරයි. ඩුබායිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්හ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් නායක රොහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් ලකුණු 54ක් එක් කළ අතර ඔවුන් දෙදෙනාම ලකුණු 28 බැගින් රැස්කිරීමට සමත් විය. ඉන්දීය ඉනීමේ නැංගුරම බවට පත් වන හිටපු නායක විරාට් කෝලි පන්දු 44කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 60ක් රැස්කළේය.


ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු හර්දික් පාන්ඩ්‍යා හිසරදයක් වන්නට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට මොහොමඩ් හස්නේන් වගබලාගත්තේය. කෝලි, ෂර්මා හා රාහුල් හැරුනු විට සෙසු කිසිදු ඉන්දීය පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවන්නට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ශඩාබ් ඛාන් ලකුණු 31කට කඩුලු 3ක් බිදහෙලීය.


අබුඩාබි ක්‍රීඩාංගණයේ ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තාන නායක බාබර් අසාම් ලකුණු 14කදී දවාගැනීමට රවී බිෂ්නෝයිට හැකිවිය. ෆකර් සමාන්ටද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15ක් පමණි. පාකිස්තාන කඩුලු රකින්නා සමගින් පිටියේ එක්වන මොහොමඩ් නවාස් වේගවත් පිතිහරඹයක නිරත වන්නට විය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂගේ ඉනීමට නොදෙවෙනි ඉනීමක් ක්‍රීඩා කළ මොහොමඩ් නවාස් පන්දු 20කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස්කළේය.


ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පාකිස්තාන ඉනීමේ නැංගුරම බවට පත් වෙමින් පන්දු 51කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 71ක් රැස්කළේය. පන්දුවාර 19 පන්දු පහක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ඉලක්කය හබායාමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. කුෂ්දිල් ශාහ් නොදැවී ලකුණු 14ක්ද අසිෆ් අලී ලකුණු 16ක්ද රැස්කිරීමට සමත් වූහ. තරගයේ 18 වන පන්දුවාරයේදී අර්ශදීප් අතට අසිෆ් අලී ලබා දුන් උඩඋඩපන්දුව රැකගත්තා නම් තරගයේ තීරණය වෙනස්වන්නටද ඉඩ තිබුණි. මෙම ජයග්‍රහණයත් සමගින් සුපිරි කණ්ඩායම් හතර වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැන්නා බවට පත් වන්නට පාකිස්තානයට හැකිවිය.

1,997 views0 comments