• Chathura Ramanayake

පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දස්කම් අතරට !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ගාල්ලේදී ආරම්භ විය. ඇන්ජිලෝ මැතිවුස් තම සියවන ටෙස්ට් තරගය,වෙනුවෙන් ක්‍රීඩා කරද්දී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබීය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 92ක සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පන්දු 70කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 50ක් රැස්කළේය. කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙසින් ලකුණු 3කට දුවද්දී දැවී ගියේය. නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය.


දිමුත්ගේ දැවී යාමෙන් අනතුරුව අද දිනයේදීද සිය සුපුරුදු සබදතාවය ගොඩනගන්නට ඇන්ජලෝ සමගින් එක්වූ චන්දිමාල් වගබලාගත්තේය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට තවත් ලකුණු 75ක් රැස්කළහ. තම සියවසේ ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් මංගල ටෙස්ට් තරගයේදී මෙන් ලකුණු 42කට දැවී ගියේය.


මෙම ඉනීමේදීද විශිෂ්ඨ අන්දමින් පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් සිය 24වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනීමේ පස්වන කඩුල්ල ලෙසින් පන්දු 137ක් තුළ හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 80ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් දැවීගියේ මොහොමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේය. මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ලකුණු 33කදී දවාගැනීමට නසීම් ශාහ්ට හැකිවිය. අද දිනයේ වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 43කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස්කොට සිටියි. දිනය අවසානයේදී ශ්‍රී ලංකා පළමු ඉනීම කඩුලු 6කට ලකුණු 315ක් ලෙසින් දිස්විය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් කඩුලු 2ක් බිදහෙලීය.


ශ්‍රී ලංකා පළමු ඉනීම : 315/6 (86.0)

දිනේෂ් චන්දිමාල් 80(137), ඕෂධ ප්‍රනාන්දු 50(70), නිරෝෂන් දික්වැල්ල* 42(43), ඇන්ජලෝ මැතිවුස් 42(106)

මොහොමඩ් නවාස් 2/71, නසීම් ශාහ් 1/34

209 views0 comments