• Chathura Ramanayake

පළමු දිනයේදී ඕස්ට්‍රේලියාවෙන් ශතක දෙකක් !!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් එක් වද්දී ක්‍රීඩකයන් තිදෙනකු සිය ටෙස්ට් හිස්වැසුම අද දිනයේදී ලබාගත්හ.


කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ඩේවිඩ් වෝනර් සමගින් උස්මාන් කවාජායි. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 15ක් ලෙසින් දිස්වන විට පළමු කඩුල්ල ලෙසින් ඩේවිඩ් වෝනර් දැවී යන්නේ කසුන් රාජිත යොමුකළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. අනතුරුව උස්මාන් කවාජා හා මානස් ලබුශේන් දෙවන කඩුල්ලට ලකුණු 55ක් එක් කරන්නට සමත් විය.


රමේෂ් මෙන්ඩිස් යොමුකළ පන්දුවක් පිට ඉන්නේ දැවටීමෙන් උස්මාන් කවාජාගේ ඉනීම නිමාවට පත් විය. පිටියට එක්වන ස්ටීව් ස්මිත් හා මානස් ලබුශේන් ගාලු පිටියේ ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට එරෙහිව කදවුරු බදින්නට විය. ඔවුන් දෙදෙනා එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. මානස් ලබුශේන් දවාගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අහිමි විය. ඉන් උපරිම ඵල නෙලාගත් මානස් ලබුශේන් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරන්නට සමත් විය.


දිනයේ තේ පැන් පානයට පෙරාතුව මානස් ලබුශේන් සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. තෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය ට්‍රෙවිස් හෙඩ් ලකුණු 12කටත් කැමරන් ග්‍රීන් 4කටත් දවාගැනීමට සමත් විය. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 28වන ශතකය වාර්තා කළ ස්ටීව් ස්මිත් අද දිනයට තරගය නතර කරන විට පන්දු 212ක් තුළ හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 109ක් රැස්කොට සිටියේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 298ක් රැස්කොට සිටියහ.


ඕස්ට්‍රේලියානු පළමු ඉනීම - 298/5(90)

ස්ටීව් ස්මිත්* 109(212), මානස් ලබුශේන් 104(156), උස්මාන් කවාජා 37(77), ඇලෙක්ස් කෙරී* 16(35)

ප්‍රභාත් ජයසූරිය 3/90, කසුන් රාජිත 1/56, රමේෂ් මෙන්ඩිස් 1/100

7 views0 comments