• Chathura Ramanayake

පළමු තරගයේ ජය කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ Reds කණ්ඩායමට !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය වෙනුවෙන් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායම හා අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායම තරග වැදුනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන Greys කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 17කදී දවාගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට හැකිවිය. පළමු කඩුලු 3 ලෙසින් දැවීගිය තානුක දාබරේ, සංගීත් කුරේ හා නායක අශාන් ප්‍රියංජන් යන තිදෙනාටම ලකුණු 5 ඉක්මවන්නට නොහැකි විය. කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකද ලකුණු 2කදී දවාගැනීමට මතීෂ පතිරණ සමත් විය. ආරම්භක පිතිකරු අශාන් රන්දික ලකුණු 20ක් රැස්කොට සිටියදී පන්දු යැවූ මහීෂ් තීක්ෂණ අතටම උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.


අනතුරුව හයවන කඩුල්ලට ලකුණු 51ක සබදතාවක් ගොඩනගන්නට මොවින් සුබසිංහ හා මුදිත ලක්ෂාන් සමත් විය. මුදිත ලක්ෂාන් ලකුණු 24කදී දවාගැනීමට මතීෂ පතිරණට හැකිවද්දී එක්.හතරේ පහරක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 32ක් රැස්කළ මොවින් සුබසිංහ දවාගැනීමට කලණ පෙරේරා සමත් විය. පුලින තරංග නොදැවී ලකුණු 16ක් රැස්කිරීමට සමත් වූ අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේදී Greys කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 120ක් රැස්කළහ. Reds කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ අසිත ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 4ක්ද මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.


Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් ලසිත් ක්‍රෝස්පුල්ලේ හා සමගින් පිටියට පිවිසියේ නායක කුසල් මෙන්ඩිස්ය. ඔවුන් දෙදෙනා Reds කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක අගනා සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ පන්දු 44කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 54ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය. නායක කුසල් මෙන්ඩිස් හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් රැස්කොට සිටියදී දවාගැනීමට අකිල ධනංජයට හැකිවිය.


භානුක රාජපක්ෂට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි. කමිදු මෙන්ඩිස් ලකුණු 15ක් රැස්කළ අතර පන්දුවාර 16 පන්දු 5ක් අවසානයේදී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට Reds කණ්ඩායම සමත් විය. මෙම තරගයේ වීරයා ලෙසින් Reds කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සම්මාන ලැබීය.


SLC Greys කණ්ඩායම : 120/9 (20)

මොවින් සුබසිංහ 32(25), මුදිත ලක්ෂාන් 24(35)

අසිත ප්‍රනාන්දු 4/22, මහීෂ් තීක්ෂණ 2/16


SLC Reds කණ්ඩායම : 121/4 (16.5)

ලසිත් ක්‍රෝස්පුල්ලේ 54(44), කුසල් මෙන්ඩිස් 34(30)

අකිල ධනංජය 2/36, පුලින තරංග 1/18

68 views0 comments