• Chathura Ramanayake

පසුගිය වර ශූරයන් වූ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මෙවරත් අවසන් පූර්ව වටයට !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. ක්‍රීඩා සමාජ 26ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්විණි. ඊයේ දිනයේදී පැවති කිසිදු තරග ප්‍රතිඵලයක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර තේරීම සදහා බලපෑමක් එල්ල නොවිණි.


නමුත් ඊයේ දිනයේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ ජයග්‍රහණය හිමිකරගනිමින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළිත් තහවුරු කොට ගැනීමට පසුගිය වර ශූරයන් වූ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අනුව ඔවුන් පළමු වටයේදී ක්‍රීඩා කළ තරග 12න් තරග 10ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 30ක් රැස්කොට සමත් වූහ. A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද අනික් කණ්ඩායම බවට පත් වූයේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයයි. ඔවුන් තරග 10ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 27ක් රැස්කොට සිටියහ.


ප්‍රභල SSC ක්‍රීඩා සමාජයට අවසන් පූර්ව වටය අවාසනාවන්ත ලෙසින් අහිමි වූ අතර ඔවුන් තරග 9ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 26ක් රැස්කොට ඇත. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව තරගය සම වූ අතර එම තරගය ජයග්‍රහණය කොට තිබුණේ නම් SSC ක්‍රීඩා සමාජයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම මුවර්ස් ක්‍රීඩා සමාජයද ක්‍රීඩා කළ තරග 12න් 9ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 26ක් රැස්කිරීමට සමත් විය.


නමුත් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන තුළ තරගකාරී ස්වභාවයක් දක්නට නොලැබුණි. ඒ අනුව ක්‍රීඩා කළ තරග 12න් 11ක් ජයගත් යුධ හමුදා ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 33ක්ද සමගින් එම කාණ්ඩයේ පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමද තරග 11ක් ජයග්‍රහණය කළේ ප්‍රසාද ලකුණු 31ක් හිමිකරගනිමිනි. ඊයේ දිනයේදී යුධ හමුදා ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහි තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කළ අතර ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහි තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමට හැකිවිය.


ඒ අනුව අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කොට ගැනීමට ටැමිල් යුනියන්, ඒස් කැපිටල්ස්, යුධ හමුදා හා කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමත් විය. අවසන් පූර්ව තරග ද්විත්වය එළඹෙන ජූලි මස 30වනදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය එළඹෙන අගෝස්තු මස 1වනදා පැවැත්වීමට නියමිතය.


අවසන් පූර්ව තරග (ජූලි 30)

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර

යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අතර

22 views0 comments