• Chathura Ramanayake

පතාන් සහෝදරයන් යළිත් ක්‍රිකට් පිටිය හොල්ලයි.


දෙවන වරටත් පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීගයේ සුවිශේෂී තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ඉන්දියාවෙහි 75වන නිදහස් දිනයට සමගාමීවයි. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩා කළේ ඉන්දියා මහරාජස් කණ්ඩායම හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමයි.


වර්ල්ඩ් ජයන්ට්ස් සංචිතයට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්, තිසර පෙරේරා, රොමේෂ් කලුවිතාරණ හා අජන්ත මෙන්ඩිස් ඇතුළත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 170ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු කෙවින් ඕබ්‍රයන් පන්දු 31කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් ලකුණු 52ක් රැස්කළ අතර දිනේෂ් රම්දින් පන්දු 29කදී ලකුණු 42ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා හිටපු නායක තිසර පෙරේරා හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් විය.


ඉන්දියා මහරාජස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පන්කජ් සිං ලකුණු 26කට කඩුලු 5ක් බිදහෙලීය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දියා මහරාජස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.


ඉන්දියා මහරාජස් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ටන්මේ ශ්‍රීවස්තවා ලකුණු 54ක් රැස්කළේය. අතීත මතක ප්‍රේක්ෂකයන්ට ආවර්ජනය කරන්නට ඉර්ෆාන් පතාන් හා යූසුෆ් පතාන් කටයුතු කළේ ඉන්දියා මහරාජස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමිනි.



යූසුෆ් පතාන් පන්දු 35කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 50ක්ද ඉර්ෆාන් පතාන් පන්දු 9කදී හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 20ක්ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ටිම් බ්‍රෙස්නන් කඩුලු 3ක් දවාගත් අතර මුත්තයියා මුරලිදරන් පන්දුවාර 3ක් ලකුණු 23කටද තිසර පෙරේරා පන්දුවාර 2ක් ලකුණු 25කටද යොමු කළේය.


Images : LLC official / twitter


2,637 views0 comments