• Chathura Ramanayake

නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනයේ තරග තොරතුරු



ලොව දෙවන පැරණිතම පාසල් ක්‍රිකට් ගැටුම ලෙසින් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද දිනයේදී ආරම්භ විය. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූයේ 143වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයයි. මහාමාන්‍ය ඩී එස් සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය හිමිකරගත් රාජකීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත තෝමස් ආරම්භක පිතිකරු යුගලය ලකුණු 53ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. නමුත් සාන්ත තෝමස් ඉනීම ලකුණු 84ක් ලෙසින් දිස්වන විට පිතිකරුවන් පස්දෙනෙකු ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් කරන්නට රාජකීය විද්‍යාලයීය පන්දු යවන්නන් සමත් විය.


නමුත් හයවන කඩුල්ලට පිටියට එක්වූ සෙනේෂ් හෙට්ටිආරච්චි හා චාරුක පීරිස් සාන්ත තෝමස් විද්‍යාලයීය ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් ඉහළ නංවන්නට විය. ඔවුන් දෙදෙනා එක්ව හයවන කඩුල්ලට ලකුණු 94ක අගනා සබදතාවක් ගොඩනගන්නට සමත් විය. සෙනේෂ් හෙට්ටිආරච්චි පන්දු 118කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 55ක් රැස්කොට සිටියදී දැවීගියේ පන්දු යවන්නා වූ රමිරු පෙරේරා අතට උඩපන්දුවක් ලබා දෙමිනි.


අද දිනයට තරගය නතර කරන විට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන් සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 6කට ලකුණු 207ක් රැස්කොට සිටියි. නොදැවී පන්දුවට පහර දුන් චාරුක පීරිස් පන්දු 143ක් තුළ හතරේ පහර 5ක් සමගින් ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් රමිරු පෙරේරා හා ගිෂාන් බාලසූරිය කඩුලු 2 බැගින් බිදහෙලීය.

35 views0 comments