• Chathura Ramanayake

නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ තරග තොරතුරු..



ලොව දෙවන පැරණිතම පාසල් ක්‍රිකට් ගැටුම ලෙසින් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය දෙවන දිනටත් ඊයේ දිනයේදී පැවැත්විණි. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පසුගිය 21වනදා ආරම්භ වූයේ 143වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයයි. මහාමාන්‍ය ඩී එස් සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය හිමිකරගත් රාජකීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත තෝමස් ක්‍රීඩකයන් දෙවන දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 207ක් රැස්කොට සිටියහ. ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට චාරුක පීරිස් නොදැවී ලකුණු 51ක් රැස්කොට සිටියේය. නමුත් ඊයේ දිනය තුළ චාරුකහට කිසිදු ලකුණක් රැස්කිරීමට අවස්ථාව ලබා නොදෙන්නට රාජකීය විද්‍යාලයීය පන්දු යවන්නන් වග බලාගත්හ. සාන්ත තෝමස් ඉනීමට ඊයේ දිනයේදී එක් ලකුණක් පමණක් එක්වන තැන චාරුකගේ ඉනීම ලකුණු 51දී නිමා කරන්නට චම්පක රාමනායකගේ පුත් සන්දේෂ් රාමනායක සමත් විය.


සාන්ත තෝමස් විද්‍යාලයීය අංක හත පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන මහිත් පෙරේරා ලකුණු 33ක් රැස්කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට විය. ඒ අනුව පන්දුවාර 106 පන්දු 2ක් තුළ සාන්ත තෝමස් පළමු ඉනීම ලකුණු 242කදී නිමාවට පත් විය. සාන්ත තෝමස් විද්‍යාලයීය පළමු ඉනීමේදී සෙනේෂ් හෙට්ටිආරච්චි ලකුණු 55ක් හා චාරුක පීරිස් ලකුණු 51ක් රැස්කළහ. පන්දු යැවීමේදී ගිහාන් බාලසූරිය කඩුලු 3ක්ද සන්දේෂ් රාමනායක හා රුමිරු පෙරේරා කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ මුල්පෙල කඩුලු 2ක් ලකුණු 15ක් තුළ බිදවැටුනි. නමුත් සිනෙත් ජයවර්ධන හා උවිදු වීරසේකර එක්ව තෙවන කඩුල්ලට ලකුණු 58ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. සිනෙත් ජයවර්ධන හතරේ පහර 6ක් සමගින් ලකුණු 32ක් රැස්කළේය. රාජකීය විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනීමක් ක්‍රීඩා කළ උවිදු වීරසේකර පන්දු 95කදී හතරේ පහර 9ක් සමගින් ඊයේ දිනය අවසානයේදී නොදැවුනු ලකුණු  62ක් රැස්කොට සිටියේය. දෙවන දිනයේදී අඅයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට රාජකීය විද්‍යාලයීය පළමු ඉනීම කඩුලු 4කට ලකුණු 136ක් ලෙසින් දිස්විය.


සාන්ත තෝමස් පළමු ඉනීම - 242/10

සෙනේෂ් හෙට්ටිආරච්චි 55(118), චාරුක පීරිස් 51(151), මහිත් පෙරේරා 33(83)

ගිහාන් බාලසූරිය 3/56, සන්දේෂ් රාමනායක 2/16, රුමිරු පෙරේරා 2/36


රාජකීය පළමු ඉනීම - 136/4

උවිදු වීරසේකර* 62(95), සිනෙත් ජයවර්ධන 32(38)

කවිදු ඩයස් 2/38

147 views0 comments