• Chathura Ramanayake

නිල් බලකායේ පන්දු බලඇණියෙන් විශිෂ්ඨ දස්කම් !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එම තරගය වෙනුවෙන් දසුන් ශානක ප්‍රමුඛ SLC Greens කණ්ඩායම හා චරිත් අසලංක ප්‍රමුඛ SLC Blues කණ්ඩායම තරග වැදිනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.


ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සමගින් සදීර සමරවික්‍රමයි. ඔවුන් දෙදෙනාම ලකුණු 11ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට බිනුර ප්‍රනාන්දු හා නුවන් තුෂාර සමත් විය. නායක චරිත් අසලංක හතරේ පහර 3ක් සමගින් ලකුණු 23ක් රැස්කළේය. ධනංජය සිල්වා ලකුණු 14කදී දවාගත් ජෙෆ්‍රි වැන්ඩසේ චාමික කරුණාරත්න ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.


චරිත්ගේ කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 71ක් තුළ බිදවැටෙන විට තවත් පන්දුවාර 8ක් ඉතිරිව පැවතුණි. නමුත් කසුන් රාජිත සමගින් එක්ව නවවන කඩුල්ලට අගනා ලකුණු 40ක සබදතාවක් ගොඩනගන්නට අශේන් බණ්ඩාර වගබලාගත්තේය. කසුන් රාජිත පන්දු 25කදී හතරේ පහර 2ක් සමගින් අත්‍යාවශ්‍යයම ලකුණු 19ක් කණ්ඩායමට එක් කරන්නට විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී SLC Blues කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ බර කරට ගත් අශේන් බණ්ඩාර පන්දු 34ක් තුළ හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස්කළේය. පන්දු යැවීමේදී ජෙෆ්‍රි වැන්ඩසේ ලකුණු 12කට කඩුලු 3ක් දවාගත්තේය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන SLC Greens කණ්ඩායමට ආරම්භයේ සිටම තර්ජනයක් එල්ල කරන්නට Blues පන්දු යවන්නන් සමත් විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දවාගැනීමට ධනංජය ද සිල්වාට හැකිවද්දී නුවනිදු ප්‍රනාන්දුද ලකුණු රැස්කිරීමට පෙරාතුව දවාගැනීමට දිල්ෂාන් මධුසංඛට හැකිවිය. දිනේෂ් චන්දිමාල් එක් හයේ පහරක් සමගින් ලකුණු 11ක් රැස්කළේය. නැවත වරක් ක්‍රියාත්මක වූ දිල්ෂාන් මධුසංඛ එක් ලකුණක් ලබාසිටි ධනංජය ලක්ෂාන් දවාගැනීමට සමත් විය.


ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 16ක් පමණි. සෙසු පිතිකරුවන්ගේ සහයක් නොලද නමුත් නායක දසුන් ශානක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළේය. දසුන් ශානක පන්දු 39කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 37ක් රැස්කළේය. නමුත් පන්දුවාර 18 පන්දු 3ක් අවසානයේදී Greens කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 32ක විශිෂ්ඨ ජයක් Blues කණ්ඩායමට හිමිවිය. තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුසංඛ තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.


SLC Blues කණ්ඩායම : 122/9 (20)

අශේන් බණ්ඩාර* 37(34), චරිත් අසලංක 23(14)

ජෙෆ්‍රි වැන්ඩසේ 3/12, ධනංජය ලක්ෂාන් 1/5, රමේෂ් මෙන්ඩිස් 1/13


SLC Greens කණ්ඩායම : 90/10 (18.3)

දසුන් ශානක 37(39), පැතුම් නිස්සංක 16(26)

ප්‍රවීන් ජයවික්‍රම 2/16, දිල්ෂාන් මධුසංඛ 2/22, සුමින්ද ලක්ෂාන් 2/22


Images : SLC media

159 views0 comments