• Chathura Ramanayake

නිදහස් දිනය වෙනුවෙන් ඉන්දියාව සුවිශේෂී ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සැරසෙයි !!!



75වන නිදහස් දිනය වෙනුවෙන් සුවිශේෂී ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන මෙන් ඉන්දීය රජය එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කොට ඇත. ඒ අනුව ලෝක ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මෙම තරගය එළඹෙන අගෝස්තු මස 22වනදා පැවැත්වීමට සැලසුම් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉන්දීය රජය ඉල්ලීමක් කොට ඇත.


ඉන්දීය ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කොට ඇත්තේ මෙය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය සාකච්ඡා සිදුකරමින් පවතින බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය එරට ක්‍රීඩකයන්ට දැනුම් දී ඇති අතර මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රීඩකයන් කැමැත්ත පළකොට ඇති බවද ඉන්දීය ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කොට ඇත .


" ඉන්දීය රජය විසින් සකස් කළ එම යෝජනාවලිය අප වෙත ලැබුණා. ඔවුන් එහි සදහන් කොට ඇත්තේ ඉන්දීය කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර තරගයක් අගෝස්තු 22වනදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි. ලෝක කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් 13-14ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම ක්‍රීඩකයන්ට අදාල දිනයේදී ක්‍රීඩා කිරීමට හැකියාව තිබේද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුයි." යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතන නිලධාරියෙකු සදහන් කොට ඇත.


ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය අගෝස්තු මස 20වනදා අවසන් වන අතර එම සංචාරයට එක්වන ක්‍රීඩකයන් මෙම තරගය සහභාගී වීම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් පැන නැගෙනු ඇත. සිම්බාබ්වේ තරග සංචාරයට විරාට් කෝලි,රොහිත් ෂර්මා හා රිෂාබ් පාන්ට් යන ක්‍රීඩකයන් තිදෙනාම එක් නොවන හෙයින් ඔවුන්ට ලෝක කණ්ඩායම සමග තරගයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

0 views0 comments