• Chathura Ramanayake

නවසීලන්ත ප්‍රභලයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !!!



නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කොට ඇත. නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් මෙම තීරණය ගත් බවත්, ඔහුව නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කිරීමට එකඟ වූ බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.


නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමාට අවස්ථාව ලැබීමට තරම් ඔහු වාසනාවන්ත වූ බව කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සදහන් කොට ඇත. තිස්හය හැවිරිදි වියෙහි පසුවන ග්‍රෑන්ඩ්හෝම් පැවසුවේ ආබාධ සහිතව පුහුණු කිරීම දුෂ්කර බැවින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බවයි.


කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ තරග 29කට ක්‍රීඩා කරමින් ලකුණු 1432ක් රැස්කොට ඇත. එමෙන්ම ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේදී කඩුලු 49ක් බිදහෙලා ඇත.කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 45කට හා විස්සයි විස්ස තරග 41කට ක්‍රීඩා කොට ඇත.


"මම දැන් තරුණ නෑ. පුහුණුවීම් සිදු කිරීම වඩාත් අපහසුයි. ආබාධයන්ට ලක්වෙනවා නිතරම. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු මගේ අනාගතය කෙබඳු දැයි තේරුම් ගැනීමට උත්සාහ කරනව. මේ හැමදෙයක්ම පහුගිය සති කිහිපයේ මගේ හිතේ තිබුණා. 2012 වසරේ ආරම්භයේ සිට නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා. මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන මම ආඩම්බර වෙනවා. ඒත් ක්‍රිකට් පිටියට සමුදීමට සුදුසු කාලය එළඹ ඇතැයි මට සිතෙනවා"

3,341 views0 comments