• Chathura Ramanayake

ධනංජය ප්‍රමුඛ ටැමිල් යුනියන් ක්‍රීඩකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.



ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදීත් පැවැත්විණි. ඊයේ දිනයේදී වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනු මෙම තරගය වෙනුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය එක්විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ටැමිල් යුනියන් නායක ධනංජය සිල්වා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ටැමිල් යුනියන් ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ දිල්රුවන් පෙරේරා සමගින් රොන් චන්ද්‍රගුප්තයි. දිල්රුවන් පෙරේරා ලකුණු 11කට දවාගැනීමට අශාන් ප්‍රියංජන් අද දිනයේදී සමත් විය. අනතුරුව සදීර සමරවික්‍රම හා රොන් චන්ද්‍රගුප්ත දෙවන කඩුල්ලට ලකුණු 45ක් එක් කළහ. රොන් චන්ද්‍රගුප්ත පන්දු 50කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 48ක් රැස්කළේය. අනතුරුව සදීර හා නායක ධනංජය අතරෙහි තෙවන කඩුල්ලට ලකුණු 96ක සබදතාවක් ගොඩනැගුණි.


නායක ධනංජය සිල්වා හතරේ පහර 3ක් සමගින් ලකුණු 45ක් රැස්කොට සිටියදී දවාගැනීමට වනිදු හසරංගට හැකිවිය. ටැමිල් යුනියන් ඉනීමේ නැංගුරම බවට පත් වූ සදීර සමරවික්‍රම පන්දු 82ක් තුළ හතරේ පහර 8ක් සමගින් ලකුණු 74ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය. නවෝද් පරණවිතාන ලකුණු 37ක් සිය කණ්ඩායම වෙනුවෙන් එක්කරද්දී පසුපෙළ පිතිකරුවන් එතරම් සාර්ථක නොවූයෙන් ටැමිල් යුනියන් ඉනීම පන්දුවාර 48 පන්දු 4ක් තුළ ලකුණු 238කට සීමා විය.කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වනිදු හසරංග පන්දුවෙන් දස්කම් පාන්නට සමත් වූයේ ලකුණු 37කට කඩුලු 4ක් දවාගනිමිනි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන කොළඹ ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු නිමේෂ් ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට ප්‍රමෝද් මදුෂාන් සමත් විය. කමිදු මෙන්ඩිස් ලකුණු 16කදී දවාගැනීමට දිල්රුවන් පෙරේරාට හැකිවූ අතර මිනෝද් භානුක හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 43ක් රැස්කළේය.නායක අශාන් ප්‍රියංජන්ගේ ඉනීම ලකුණු 25කදී නිමා කරන්නට නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රමෝද් මදුෂාන්ට හැකිවිය. වනිදු හසරංගට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි.


කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් පවන් රත්නායක හයේ පහර 3ක් සමගින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. ලක්ෂාන් සදකැන් කොළඹ ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රභල උත්සාහක නිරත වුවද එය අසාර්ථක විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ලක්ෂාන් සදකැන් පන්දු 72කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය. නියමිත පන්දුවාර 50 අවසානයේදී කොළඹ ක්‍රීඩා සමාජයට කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 222ක් පමණි. ඒ අනුව ලකුණු 16කින් තරගය ජයගත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මෙවරද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 51කට කඩුලු 4ක්ද දිලුම් සුදීර හා ඉසුරු උදාන කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


ටැමිල් යුනියන් ඉනීම : 238/10 (48.4)

සදීර සමරවික්‍රම 74(82), රොන් චන්ද්‍රගුප්ත 48(50), ධනංජය සිල්වා 45(56), නවෝද් පරණවිතාන 38(47)

වනිදු හසරංග 4/37, අශාන් ප්‍රියංජන් 2/47


කොළඹ ඉනීම : 222/9 (50)

ලක්ෂාන් සදකැන්* 62(72), මිනෝද් භානුක 43(46), පවන් රත්නායක 39(51)

ප්‍රමෝද් මදුෂාන් 4/51, දිලුම් සුදීර 2/40, ඉසුරු උදාන 2/51


0 views0 comments