• Chathura Ramanayake

දෙවන දිනයේත් වැඩි ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායමට !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේදී විශිෂ්ඨ දස්කම් පාන්නට ශ්‍රි ලංකා ක්‍රීඩකයන් සමත් වූහ. ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කොට තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනීමේ නොදැවුනු ක්‍රීඩකයන් ලෙසින් නිරෝෂන් දික්වැල්ල හා දුනිත් වෙල්ලාලගේ ඊයේ දිනය ආරම්භයේදී පිටියට පිවිසියහ.


ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙසින් මංගල ටෙස්ට් ඉනීම ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 11කට දැවී ගියේය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පන්දු 54ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් 51ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනීමේ අවසන් කඩුලු දෙක තුළදී සටන්කාමී පිතිහරඹයක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 35 රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ නැංවීය.ඒ අනුව සිය පළමු ඉනීම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 378ක් රැස්කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50ක්ද රැස්කළ අතර පන්දු යැවීමේදී නසීම් ශාහ් හා යසීර් ශා කඩුලු 3 බැගින් බිදහෙලීය.


සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික් දෙවන පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යවන්නට අසිත ප්‍රනාන්දු සමත් විය. පාකිස්තාන නායක බාබර් අසාම් ලකුණු 16ක් තුළ දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම හේතුවෙන් වැඩබලන නායකයා ලෙසින් කටයුතු කළ ධනංජය සිල්වා ඉමාම් උල් හක්ගේ ඉනීම ලකුණු 32කදී නිමා කළේය.

දකුණත් පිට දගපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ඊයේ දිනයේදී විශිෂ්ඨ දස්කම් පාන්නට සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ලකුණු 24කදී ක්‍රීඩාගාරයට හරවා යැවූ රමේෂ්, හිසරදයක් වන්නට පෙරාතුව ෆවඩ් අලාම්ගේ ඉනීමද ලකුණු 24කදීම නිමාවට පත් කළේය.


නැවතත් ක්‍රියාත්මක වූ රමේෂ් මොහොමඩ් නවාස්ගේ කඩුල්ලද බිදහෙලුවේ ලකුණු 12ක් රැස්කොට සිටියදීය. පාකිස්තාන ඉනීම සවිමත් කරමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අගා සල්මන් දිනයේ අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ධනංජය සිල්වා අතට උඩපන්දුවක් ලබාදෙමිනි.අගා සල්මන් පන්දු 126ක් තුළ හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 62ක් රැස්කළේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලු 3ක් අතැතිව පළමු ඉනීමේ ලකුණු 187 පිටුපසින් රැදීසිටියි.


ශ්‍රී ලංකා පළමු ඉනීම : 315/6 (86.0)

දිනේෂ් චන්දිමාල් 80(137),නිරෝෂන් දික්වැල්ල 51(54), ඕෂධ ප්‍රනාන්දු 50(70), ඇන්ජලෝ මැතිවුස් 42(106)

නසීම් ශාහ් 3/58, යසීර් ශා 3/83


පාකිස්තාන පළමු ඉනීම : 191/7 (69.4)

අගා සල්මන් 62(126), ඉමාම් උල් හක් 32(54)

රමේෂ් මෙන්ඩිස් 3/42, ප්‍රභාත් ජයසූරිය 2/59

41 views0 comments