• Chathura Ramanayake

දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනීමේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය තෙවන දිනටත් ගාල්ලේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 378ට පිළිතුරු ලෙසින් පාකිස්තාන කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 191ක් රැස්කොට සිටියහ.


අද දිනයේදී පාකිස්තාන පළමු ඉනීමේ අටවන කඩුල්ලට තවත් ලකුණු 42ක් එක්කරන්නට යසීර් ශා හා හසන් අලීට හැකිවිය. හසන් අලී ලකුණු 21කදී දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. අනතුරුව ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් පාකිස්තාන ඉනීමේ අවසන් කඩුලු 2ක බිදහෙලීමට සමත් වූයේ සිය කඩුලු 5ද සම්පූර්ණ කරමිනි. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිම ලකුණු 231කදී නිමාවට පත් විය. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස්ට අගනා සහයක් ලබා දුන් ප්‍රභාත් ජයසූරියද පාකිස්තාන ඉනීමේ කඩුලු 3ක් බිදහෙලීය.


ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉනීම ඇරඹූයේ දික්වැල්ල හා ඕෂදයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 15කදී දවාගැනීමට නසීම් ශාහ්ට හැකි විය. ඕෂධගේ ඉනීම ලකුණු 19කටත් කුසල් මෙන්ඩිස්ගේ ඉනීම ලකුණු 15කටත් සීමා වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 59ට කඩුලු 3ක් ලෙසිනි. අනතුරුව දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිවුස් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 41ක් සබදතාවක් ගොඩනගන්නට විය.


තම සියවන ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් ඉතා අවාසනාවන්ත ලෙසින් ලකුණු 35කට දැවී ගියේය. පසුගිය තරග සියල්ලෙහිම විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 21ක් රැස්කොට සිටියදී දවාගැනීමට නසීම් ශාහ්ට හැකිවිය. ඇන්ජලෝගේ දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ධනංජය ද සිල්වා සමගින් එක්ව අද දිනය සාර්ථක ලෙසින් අවසන් කරන්නට ඔහු වග බලාගත්තේය. හයවන කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 59ක් රැස්කිරීමට ඔවුන් දෙදෙනා සමත් විය. අයහපත් ආලෝක තත්වය හේතුවෙන්  තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනීමට කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස්කොට සිටියහ. ඒ අනුව දෙවන ඉනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් පසුවෙයි.


ශ්‍රී ලංකා පළමු ඉනීම : 315/6 (86.0)

දිනේෂ් චන්දිමාල් 80(137),නිරෝෂන් දික්වැල්ල 51(54), ඕෂධ ප්‍රනාන්දු 50(70), ඇන්ජලෝ මැතිවුස් 42(106) නසීම් ශාහ් 3/58, යසීර් ශා 3/83


පාකිස්තාන පළමු ඉනීම : 231/10 (88.1)

අගා සල්මන් 62(126), ඉමාම් උල් හක් 32(54), යසීර් ශා 26(97) රමේෂ් මෙන්ඩිස් 5/47 , ප්‍රභාත් ජයසූරිය 3/80, ධනංජය ද සිල්වා 1/15


ශ්‍රී ලංකා දෙවන ඉනීම : 176/5 (50)

ඇන්ජලෝ මැතිවුස් 35(62), ධනංජය ද සිල්වා* 30(52), දිමුත් කරුණාරත්න* 27(51) නසීම් ශාහ් 2/29, අගා සල්මන් 1/18

34 views0 comments