• Chathura Ramanayake

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් ලකුණු 378ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තානය සිය පළමු ඉනීමට රැස්කළේ ලකුණු 231ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනීමට තවත් ලකුණු 360ක් රැස්කොට සිටියදී සිය ඉනීම අත්හිටුවීමට තීරණය කළ අතර පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 508කි. අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස්කොට සිටියහ.


දිනයේ යොමුකළ තෙවන පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ලකුණු 49ක් රැස්කොට සිටි ඉමාම් උල් හක් ක්‍රීඩාගාරය බලා පියමන් කළේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමිනි. අනතුරුව පිටියට එක්වන මොහොමඩ් රිස්වාන් පාකිස්තාන නායක බාබර් අසාම් සමගින් එක්ව පාකිස්තාන ඉනීම ගොඩනගන්නට වෑයම් කළහ. ඒ අනුව ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 79ක් එක් කරන්නට විය. අද දිනයේදීද සිය වගකීම අකුරටම ඉටුකරන්නට වගබලාගත් ප්‍රභාත් ජයසූරිය මොහොමඩ් රිස්වාන් ලකුණු 37කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.


ෆවඩ් අලාම් එක් ලකුණකට දුවද්දී දැවීයද්දී ප්‍රභාත් ජයසූරිය යොමුකළ පන්දුවකට අගා සල්මන් ලකුණු 4කට දැවී ගියේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේය. දිවා ආහාරයට තරගය නතර කරන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 188ක් ලෙසින් දිස්විය. දිනයේ දෙවන අර්ධයේදී පාකිස්තාන ඉනීමට තවත් ලකුණු 17ක් එක්වන තැන ලකුණු 81ක් රැස්කොට සිටි නායක බාබර් අසාම් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ප්‍රභාත් ජයසූරිය සමත් විය. එතැන් පටන් පාකිස්තාන අගපෙළ පිතිකරුවන් තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට වෑයම් කළද ශ්‍රී ලංකා දගපන්දු  යවන්නන් ඊට ඉඩ නොතැබීය.


ඒ අනුව පන්දුවාර 77ක් අවසානයේදී පාකිස්තාන දෙවන ඉනීමේ සියලු ක්‍රීඩකයන් දැවී ගියේ ලකුණු පුවරුව 261ක් ලෙසින් සටහන් කරමිනි. ඇන්ජලෝ මැතිවුස්ගේ සියවන ටෙස්ට් තරගයෙන් ලකුණු 246ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. පාකිස්තාන දෙවන ඉනීමේදීද කඩුලු 5ක් බිදහෙලන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ වසරේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමිනි. තරගයේ වීරයා ලෙසින් ධනංජය ද සිල්වා නිර්දේශ වද්දී තරගාවලියේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය සම්මාන ලැබීය. මෙම ජයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.


ශ්‍රී ලංකා පළමු ඉනීම : 315/6 (86.0)

දිනේෂ් චන්දිමාල් 80(137),නිරෝෂන් දික්වැල්ල 51(54), ඕෂධ ප්‍රනාන්දු 50(70), ඇන්ජලෝ මැතිවුස් 42(106)

නසීම් ශාහ් 3/58, යසීර් ශා 3/83


පාකිස්තාන පළමු ඉනීම : 231/10 (88.1)

අගා සල්මන් 62(126), ඉමාම් උල් හක් 32(54), යසීර් ශා 26(97)

රමේෂ් මෙන්ඩිස් 5/47 , ප්‍රභාත් ජයසූරිය 3/80, ධනංජය ද සිල්වා 1/15


ශ්‍රී ලංකා දෙවන ඉනීම : 360/8d (91.5) ධනංජය ද සිල්වා 109(171), දිමුත් කරුණාරත්න 61(105), රමේෂ් මෙන්ඩිස්* 45(54)

නසීම් ශාහ් 2/44, මොහොමඩ් නවාස් 2/75


පාකිස්තාන දෙවන ඉනීම : 261/10 (77)

බාබර් අසාම් 81(146), ඉමාම් උල් හක් 49(90, මොහොමඩ් රිස්වාන් 37(69)

ප්‍රභාත් ජයසූරිය 5/117, රමේෂ් මෙන්ඩිස් 4/101

121 views0 comments