• Chathura Ramanayake

දාබරේ හා ක්‍රෝස්පුල්ලේ අන්තර් සමාජ ක්‍රිකට් පිටිය දෙවනත් කරයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තරග 12ක් අද දිනයේදී ආරම්භ විය. ඒ අතරින් සැරසන්ස් කණ්ඩායම හා ඒස් කැපිටල්ස් කණ්ඩායම අතර පැවති තරගයේදී වේගවත් ඉනීම් දෙකක් දක්නට ලැබුණි. ඒ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දැක්වූ ලසිත් ක්‍රෝස්පුල්ලේ හා තානුක දාබරේගේ පිත්තෙනි.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දුනූ ඒස් කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. නමුත් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 5කදී දැවී ගියේය. අනතුරුව පිටියේ එක්වන තානුක දාබරේ හා ලසිත් ක්‍රෝස්පුල්ලේ දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 175ක් තුළදී වේගවත් ලකුණු 214ක් එක් කරන්නට විය.


තානුක දාබරේ පන්දු 87කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනීම හතරේ පහර 18කින් හා හයේ පහර 6කින් වර්ණවත් විය. එහිදී ඔහු ලෝන්ග් ඕන් කලාපයෙන් ලකුණු 43ක්ද ලෝන්ග් ඕෆ් කලාපයෙන් ලකුණු 30ක්ද සිය ඉනීමට එක්කරන්නට ඔහුට හැකිවිය.


ලසිත් ක්‍රෝස්පුල්ලේද අගනා ඉනීමක් ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු 160ක් රැස්කළේ පන්දු 139කට පමණක් මුහුණ දෙමිනි. ලසිත් ක්‍රෝස්පුල්ලේගේ ඉනීම හතරේ පහර 16කින් හා හයේ පහර 10කින් සමන්විත විය. ක්‍රෝස්පුල්ලේ මිඩ් විකට් කලාපය ඔස්සේ ලකුණු 52ක්ද ලෝන්ග් ඕෆ් කලාපයෙන් ලකුණු 43ක්ද රැස්කළේය.

106 views0 comments