• Chathura Ramanayake

දසුන් ශානකට ස්ථානය අහිමි විස්ඩන් ආසියානු කුසලාන කණ්ඩායම


ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ඊයේ දිනයේදී අවසන් වූයේ ශ්‍රී ලංකාව හයවන වරටත් ශූරයන් බවට පත් කරමිනි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම කාගේත් අවදානයට යොමු විය. මෙවර තරගාවලියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ආසියානු කුසලාන කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් වෙබ් අඩවිය කටයුතු කොට ඇත.


මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු, පාකිස්තාන ක්‍රීඩකයන් සිව්දෙනෙකු හා ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ය. සුපිරි කණ්ඩායම් හතර වටයට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට විස්ඩන් සගරාව නම් කළ මෙම කණ්ඩායම තුළ ඉඩක් හිමි වී නොමැත. එමෙන්ම තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය තෙක් රැගෙන ගිය නායක දසුන් ශානකටද මෙම කණ්ඩායම තුළ ඉඩක් හිමි වී නොමැත.



විස්ඩන් සගරාව නම් කළ ආසියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් මොහොමඩ් රිස්වාන් හා කුසල් මෙන්ඩිස් නම් කොට ඇත. මොහොමඩ් රිස්වාන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභීන් අතර හයවැන්නා බවට පත් විය. මෙම කණ්ඩායමේ අංක තුන හා හතර ස්ථාන ඉන්දීය ක්‍රීඩකයන් වන විරාට් කෝලි හා සූර්‍යකුමාර් යාදව්ට හිමිවී ඇත. නමුත් සූර්‍යකුමාර් තරගාවලිය තුළ රැස්කළ ලකුණු 139න් 68ක්ම රැස්කළේ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.


ආසියානු කුසලාන අවසන් මහා තරගයේ වීරයා වූ භානුක රාජපක්ෂ හා තරගාවලියේ වීරයා බවට පත් වූ වනිදු හසරංග විස්ඩන් ආසියානු කණ්ඩායමට ඇතුළත් කොට ඇත. තුන් ඉරියව්වෙන් දස්කම් පෑ පාකිස්තාන ක්‍රීඩකයන් වන ශඩාබ් ඛාන් හා මොහොමඩ් නවාස්ටද මෙම කණ්ඩායමේ ඉඩක් වෙන්වී ඇත. කණ්ඩායමට ඇතුළත් වේගපන්දු යවන්නන් තිදෙනා ලෙසින් නම් කොට ඇත්තේ බුවනේෂ්වර් කුමාර්, නසීම් ශාහ් හා ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛයි.


විස්ඩන් සගරාව නම් කළ ආසියානු කුසලාන කණ්ඩායම

  • මොහොමඩ් රිස්වාන්

  • කුසල් මෙන්ඩිස්

  • විරාට් කෝලි

  • සූර්‍යකුමාර් යාදව්

  • භානුක රාජපක්ෂ

  • වනිදු හසරංග

  • ශඩාබ් ඛාන්

  • මොහොමඩ් නවාස්

  • බුවනේෂ්වර් කුමාර්

  • නසීම් ශාහ්

  • දිල්ෂාන් මධුසංඛ


250 views0 comments