• Chathura Ramanayake

දසුන් ප්‍රමුඛ කොළ බලකායේ පිතිකරණ බලඇණිය !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC Invitational T20 League තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 4ක් එක්වන අතර තරගාවලියේ එක් එක් කණ්ඩායමේ පිතිකරණ හා පන්දු යැවීමේ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට Creedanet අප තීරණය කළෙමු. ඒ අනුව අද දිනයේදී මෙම ලිපියෙන් අවදානය යොමු කෙරෙනුයේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC Greens කණ්ඩායමේ පිතිකරණ ඒකකය පිළිබඳවයි.


Greens කණ්ඩායමේ පිතිකරණ ඒකකට දෙස අවධානය යොමු කරන විටදී ආරම්භක පිතිකරුවන් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල හා පැතුම් නිස්සංක මෙම කණ්ඩායමට ඇතුළත්ය. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත පිතිකරුවන් ලෙසින් දිනේෂ් චන්දිමාල් හා දසුන් ශානක යන ක්‍රීඩකයන් දෙදෙනාද Greens පිතිකරණ ඒකකය ශක්තිමත් කිරීමේ සූදානමින් පසුවෙයි. තවද දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් පාන යොවුන් පිතිකරු නුවනිදු ප්‍රනාන්දු, තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්, තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් , සාමින්ද ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ද තිලිණ කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ පිතිකරණයේ නියැලීමට සූදානමින් සිටියි.


SLC Greens කණ්ඩායමේ පිතිකරුවන් අතරින් වැඩිම අත්දැකීම් සහිත ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 68කදී ලකුණු 1062ක් රැස්කිරීමට සමත් වී ඇත. දිනේෂ් චන්දිමාල් දේශීය ක්‍රිකට් පිටියද සමගින් සමස්ථ විස්සයි විස්ස තරග 166කට ක්‍රීඩා කොට ඇති අතර එහිදී ලකුණු 3869ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 30.46ක පිතිකරණ සාමාන්‍යයක්ද සමගිනි. මෙම කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දසුන් ශානකද ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ඉනීම 64කට ක්‍රීඩා කරමින් ලකුණු 1015ක් රැස්කොට තිබෙන අතර ඔහු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී ලකුණු 3151ක් රැස්කොට ඇත්තේ ශතක තුනක්ද සමගිනි.


ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් අතරෙහි අටවැනි ස්ථානය හිමි පැතුම් නිස්සංක ජාත්‍යන්තර ඉනීම 22කදී ලකුණු 628ක් රැස්කොට ඇති අතර ඔහු විස්සයි විස්ස පිටියේ ලකුණු 1300ක් රැස්කිරීමට සමත්ව ඇත. නිරෝෂන් දික්වැල්ලද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 480ක් රැස්කොට ඇති අතර ඔහු විස්සයි විස්ස පිටියේදී ඉනීම 86ක් තුළ ලකුණු 1696ක් රැස්කිරීමට සමත්ව ඇත.යොවුන් පිතිකරු නුවනිදු ප්‍රනාන්දු විස්සයි විස්ස පිටිය තුළදී දස්කම් පාන්නට සමත්වී ඇති අතර ඔහු ඉනීම 21කට ක්‍රීඩා කරමින් ලකුණු 546ක් රැස්කොට ඇති අතර ඔහු එංගලන්තයේදී නොදැවී ලකුණු 126ක් රැස්කිරීමටද සමත්ව ඇත.


Greens කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් පෑමට සූදානමින් සිටින ක්‍රීඩකයන් වන ධනංජය ලක්ෂාන් විස්සයි විස්ස පිටියේදී ලකුණු 526ක් රැස්කොට ඇති අතර රමේෂ් මෙන්ඩිස් විස්සයි විස්ස ලකුණු 727ක් රැස්කිරීමට මේ වන විටත් සමත්වී ඇත. තවද රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන සාමින්ද ප්‍රනාන්දුද විස්සයි විස්ස පිටියේදී ලකුණු 214ක් රැස්කොට ඇත. අවශ්‍යවිටකදී පන්දුවට පහර දෙමින් ලකුණු රැස්කිරීමට හැකි ක්‍රීඩකයෙකු ලෙසින් නිමේෂ් විමුක්තිද දසුන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටියි.


ක්‍රීඩකයා


ඉනීම


ලකුණු


ප්‍රහාරක වේගය


හොදම ලකුණ

දසුන් ශානක


131

3151

142.70

131*

දිනේෂ් චන්දිමාල්


151

3869

119.45

101*

​පැතුම් නිස්සංක

49

1300

121.04

93

​නිරෝෂන් දික්වැල්ල


86

1696

139.13

79*

නුවනිදු ප්‍රනාන්දු


21

546

123.52

126*

රමේෂ් මෙන්ඩිස්


42

727

129.59

72*

ධනංජය ලක්ෂාන්


​40

526

120.91

63

සාමින්ද ප්‍රනාන්දු


17

214

107.53

72

නිමේෂ් විමුක්ති

​29

260

111.11

45


0 views0 comments