• Shaminda Jayarathne

දකුණු අප්‍රිකාව ලකුණු 83 කට සීමාවෙයි!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟය ලකුණු 118 කින් ජයග්‍රහණය කරමින් තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට එංගලන්තය සමත් වුණා. මැන්චෙස්ටර් හීදි පැවති දෙවන තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැවැත්වුණේ පන්දුවාර 29 ක තරඟයක් ලෙසටයි.


මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 28.1 තුළදී සියලුම දෙනා දැවී ලකුණු 201ක් රැස් කළා. එංගලන්තය වෙනුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 26 කදී ලකුණු 38ක්, සෑම් කරන් පන්දු 18 කින් ලකුණු 35ක් සහ ජොනී බෙයාස්ටෝ ලකුණු 28ක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩ්වේන් ප්‍රිටෝරියස් ලකුණු 36/4 ක් වශයෙන් සටහන් කිරීමට සමත් වුණා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු 4 ලකුණු 6ක් තුළ බිඳ වැටුණා. හෙන්රිච් ක්ලාසන් ලකුණු 33ක් වාර්තා කරද්දී වෙනත් කිසිඳු පිතිකරුවෙකු හට ලකුණු 20 සීමාවට ළඟා වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. ආදිල් රශීඩ් ලකුණු 29 කට කඩුලු 3ක් බිඳ හෙලද්දී රීස් ටොප්ලි සහ මොයින් අලී කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා. තරඟයෙන් ලකුණු 118 ක ජයග්‍රහණයක් එංගලන්තයට හිමි වද්දී තුන් ඉරියව්වෙන් දස්කම් පෑ සෑම් කරන් තරඟයේ වීරයා ලෙසින් නම් වුණා. දෙපිළ අතරේ තෙවන සහ අවසන් එක්දින තරඟය ජූලි 24 වනදා පැවැත්වීමට නියමිතයි.

57 views0 comments