• Chathura Ramanayake

දකුණු අප්‍රිකානු ලීගයේ ක්‍රීඩක වෙන්දේසියට කුසල් ඇතුළු ශ්‍රී ලාංකිකයන් රැසක්



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලීග් පිටියට හදුන්වා දෙන නවතම තරගාවලිය එළඹෙන ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. ඉන්දීය හිමිකරුවන් සතු කණ්ඩායම් හයක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරයි. තරගාවලිය වෙනුවෙන් සෑම කණ්ඩායමක්ම සිය මූලික ක්‍රීඩකයන් ලයිස්තුව මේ වන විටත් ප්‍රකාශයට පත් කොට අවසන්ය.


SA20 ලෙසින් නම් කොට ඇති මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් මස 19වනදා කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතය. පාකිස්තානය හැර රටවල් 18ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 500කට අධික පිරිසක් මෙම ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇත.


ඒ අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 250ක්, ඉයන් මෝගන් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන් 100ක්, ලෙන්ඩල් සිමන්ස් ඇතුළු කොදෙව් ක්‍රීඩකයන් 50ක් පමණ ඇතුළත්ය. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වූ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30කට වැඩි ප්‍රමාණයක් ද ඇතුළත්ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා හා දිනේෂ් චන්දිමාල් එම ක්‍රීඩකයන් අතරට ඇතුළත් බවට Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත.


තවද අහමඩ් ශෙෂාඩ් ඇතුළු ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 25ක්ද සිම්බාබ්වේ ක්‍රීඩකයන් 10දෙනෙකුද ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී ඇත. නවසීලන්ත ක්‍රීඩකයන් වන ජිමී නීෂම් හා රෝස් ටේලර්ද මෙම ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත්ය.

1,906 views0 comments