• Chathura Ramanayake

තිස්හත් හැවිරිදි දගපන්දු යවන්නා හොංකොං කණ්ඩායම ජය මාවතට රැගෙන යයි !!



එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීමේ තරග වටය ඕමානයේදී ආරම්භ විය. තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් සිංගප්පූරු කණ්ඩායම හා හොංකොං කණ්ඩායම එක්විය. කාසියේ වාසිය හිමිකරගත් සිංගප්පූරු කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන හොංකොං කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නට මත්තෙන් නායක නිසාකට් ඛාන් ක්‍රීඩාගාරයට හරවා යවන්නට අම්ජඩ්ට හැකිවිය. දෙවන කඩුල්ලද ලකුණු 8කදී දවාගැනීමට අම්ජඩ්ට හැකි වද්දී තෙවන කඩුල්ලට ලකුණු 65ක් එක් කරන්නට යසීම් හා කින්චිට් සමත් විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ කින්චිට් ශාහ් ලකුණු 34ක් රැස්කළේය.


හරූන් අර්ශාඩ් පන්දු 14කදී නොදැවී වේගවත් ලකුණු 27කින් හා සීශාන් අලි ලකුණු 20කින් හොංකොං ලකුණු පුවරුව ඉහළ නංවන්නට විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9කට ලකුණු 148ක් රැස්කිරීමට හොංකොං ක්‍රීඩකයන්ට හැකි විය. පන්දු යැවීමේදී සිංගප්පූරුව වෙනුවෙන් අක්ෂේ, ජනක් හා අම්ජඩ් කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සිංගප්පූරු කණ්ඩායම පන්දුවාර දහයක් තුළ කඩුලු 3කට ලකුණු 77ක් රැස්කොට සිටියහ. නමුත් නියමිත පන්දුවාර විස්ස තුළදී ඔවුන්ට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140ක් පමණි. ඉනීමේ අවසන් පන්දුවාර දෙක තුළදී ජයග්‍රහණය වෙනුවෙන් සිංගප්පූරු කණ්ඩායමට ලකුණු 20ක් අවශ්‍ය විය. නමුත් දහනව වන පන්දුවාරය යොමු කළ තිස්හත් හැවිරිදි වියෙහි පසුවන දගපන්දු යවන ක්‍රීඩක එශාන් ඛාන් එම පන්දුවාරය තුළ ලකුණු 5ක් පමණක් ලබාදෙමින් හොදින් පන්දුවට පහර දෙමින් සිටි පිතිකරු යුගලය වූ අවී හා සුරේන්ද්‍රන් දවාගැනීමට සමත් විය.


අවසන් පන්දුවාරයේදී ද සිංගප්පූරු කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 6ක් පමණි. සිංගප්පූරු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත් වූ ජනක් ප්‍රකාශ් ලකුණු 31ක්ද අරිට්‍රා ඩුට්ටා ලකුණු 29ක්ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී හොංකොං කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගිය එශාන් ඛාන් ලකුණු 20ට කඩුලු 3ක්ද පාදගපන්දු යවන ක්‍රීඩක ගසන්ෆාර් ලකුණු 20ට කඩුලු 2ක්ද බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් එශාන් ඛාන් සම්මාන ලැබීය.

164 views0 comments