• Chathura Ramanayake

තිලකරත්න ඩිල්ෂාන් එකවර තරඟාවලි දෙකක් ක්‍රීඩා කිරීමේ වික්‍රමයටද මුලපුරයි.


Road Safety ලෝක ශූරතා තරගාවලිය මෙන්ම Legends League තරගාවලිය ද මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙයි. ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ අද පැවති තරගයකට, Road Safety ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කළේය.



ලක්නව්හිදී පැවති මෙම තරගයේ දී තිලකරත්න ඩිල්ෂාන් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. කාසියේ වාසිය හිමිකරගත් ගුජරාට් නායක විරේන්ද්‍ර ශෙවාග් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120ක් පමණි.


ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිකාන්ත් ශුක්ලා ලකුණු 32ක්ද මොහොමඩ් කයිෆ් ලකුණු 14ක්ද් රැස්කළහ. පන්දු යැවීමේදී තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 2කදී ලකුණු 18කට කඩුලු 2ක් බිදහෙලන්නට සමත් වූ අතර අශෝක් ඩින්ඩා ලකුණු 22කට කඩුලු 2ක් බිදහෙලීය. තිසර පෙරේරා හා රයාඩ් එම්‍රිට් එක් කඩුල්ල බැගින් දවාගත්හ.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2කදී කඩුලු 8ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. පාතිව් පටෙල් පන්දු 17කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 34ක් රැස්කළේය. කෙවින් ඕබ්‍රයන් ලකුණු 23කින්ද තිසර පෙරේරා ලකුණු 22කින්ද ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.


මනිපාල් ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මුත්තයියා මුරලිදරන් පන්දුවාර 2 පන්දු 2ක් තුළ ලකුණු 10කට කඩුලු 2ක් දවාගත් අතර හර්බජාන්, ප්‍රවීන්දර් අවන්නා හා ක්‍රිස් මුපෝෆු කඩුලු 2 බැගින් බිදහෙලීය.

12,435 views0 comments