• Chathura Ramanayake

තෙන්ඩුල්කාර් දවාගෙන ඩොලර් දහසක් දිනූ පන්දු යවන්නා !!



2004 ආසියානු කුසලාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය B කාණ්ඩය යටතේ තරග වැදුනි. එක් එක් කාණ්ඩයේ ප්‍රමුඛයන් වූ කණ්ඩායම් ද්විත්වය සුපිරි කණ්ඩායම් හතරේ තරගවටයට තේරී පත් විය. ඉන්දීය කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වැදුනු පළමු තරගය පැවැත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි.


මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 260ක් රැස්කිරීමට සමත් විය. නමුත් ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144ක් පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී දස්කම් පෑ රාහුල් ඩ්‍රාවිඩ් පන්දු 104කදී ලකුණු 93ක් රැස්කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ඉර්ෆාන් පතාන් කඩුලු 3ක්ද ලක්ෂම්පති බලාජි කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.


එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන් තරගය පරාජයට පත් වුවද මෙම තරගයේදී සුවිශේෂී මුදල් ත්‍යාගයක් දිනාගැනීමට එක් ක්‍රීඩකයෙකුට හැකි විය. ඔහු නමින් වමත් වේගපන්දු යවන ක්‍රීඩක අසිම් සයීඩ් ය. මෙම තරගාවලියේදී සචින් තෙන්ඩුල්කාර් දවාගන්නා ක්‍රීඩකයාට ඇමරිකානු ඩොලර් දහසක් ලබා දෙන බවට එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය තරගාවලියට පෙර ප්‍රකාශ කොට තිබුණි.


ඉන්දීය ඉනීමේ අටවන පන්දුවාරයේ පස්වන පන්දුවට සචින් තෙන්ඩුල්කාර් ෆ්ලික් පහරක් එල්ල කළේය. නමුත් පිත්තේ පිටත දාරයේ දවටෙන පන්දුව ෂෝට් මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි ෆහඩ් උස්මාන් වෙත ඇදී යද්දී එම උඩපන්දුව රැකගන්නට ඔහුට හැකිවිය. දැවී යන විට සචින් තෙන්ඩුල්කාර් පන්දු 18කදී ලකුණු 25ක් රැස්කොට තිබුණි.


අසිම් සයීඩ් එම තරගයේදී ලකුණු 25කට එක් කඩුල්ලක් දවාගත් අතර ඔහු එම තරගයේදී නිලකුණු පන්දුවාර 2ක් යොමු කොට තිබුණි. අසිම් සයීඩ් ශ්‍රී ලංකාවට එරෙහි මූලික වටයේ තරගයට ක්‍රීඩා කළ නමුත් ඔහුට කඩුලු දවාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් අනතුරුව ඔහු නැවත කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කොට නොමැත. අසිම් සයීඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි දවාගෙන ඇති එකම පිතිකරුවා සචින් තෙන්ඩුල්කාර් පමණක් වීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ එක් සුවිශේෂී සිදුවීමකි.

2,200 views0 comments