• Shaminda Jayarathne

තවත් යුපුන් ලා දහසක් මේ පින්බිමේ බිහි වන්නට නම්!


යුපුන් අබේකෝන්. මේ නම මේ මොහොතේදී නොදන්න ශ්‍රී ලාංකිකයෙක් හොයාගන්නත් අපහසු වේවි. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයේ ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න පරපුරේ අලුත්ම නාමය තමයි යුපුන් අබේකෝන්. ඔහු ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයේ විතරක් නෙමෙයි දකුණු ආසියානු මළල ක්‍රීඩා ඉතිහාසයේම කාටවත්ම කරන්න බැරි වුණ දේවල් රාශියක් මේ වෙනකොටත් සිදු කරලා හමාරයි.


රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ යුපුන් දිනූ පදක්කම අපිට පාඩම් රැසක් උගන්වන්නට සමත් වුණා. එයින් පළවෙනිම දේ තමයි මේ වගේ ඉසව්වක් අපිට බෑ කියන සාම්ප්‍රදායික මතය වෙනස් කරන්න වැටුන අඩිතාලම. ඉතිහාසයේ කිසිම දිනයක දකුණු ආසියාවෙන් තත්පර 10 කට අඩුවෙන් මීටර් 100 අවසන් කරන්නට ක්‍රීඩකයෙක් බිහි වුණේ නෑ. නමුත් ඒ බාධකය තරණය කිරීමට පවා යුපුන් අබේකෝන් ට හැකි වුණා. එහෙම බෑ කියන බාධක කඩන්නට යුපුන්ට දැනටමත් හැකි වෙලා තියෙනවා.


යුපුන් ගේ ජයග්‍රහණය අපට උගන්වන දෙවන පාඩම තමයි හරි පුහුණුවීමක් සහ කළමනාකරණයක් තුළින් ශ්‍රී ලංකාවෙන් මේ වගේ දක්ෂයන් දුසිම් ගණනින් බිහි කරන්නට හැකියාව ඇති බව. යුපුන් ශ්‍රී ලංකාවේ ඉපදුන ශ්‍රී ලංකා ජාන සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු වසර ගණනාවක සිට තම පුහුණුවීම් ඉතාලියේ සිට කරගෙන යනවා. ඒ නවීන තාක්ෂණය සහ කළමණාකාරිත්වය ඔහුගේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් සැපයූවා යන්න බොහොම පැහැදිලිව දකින්නට ලැබෙන දෙයක්.


නමුත් අවාසනාවකට යුපුන් ගැන ජයග්‍රාහී මට්ටමෙන් කතා කරද්දී අනෙක් පසින් අපිට යෞවනයෝ ගැන පරාජිත මට්ටමකින් කතා කරන්නට සිදු වී තිබෙනවා. මේ දිනවල කොලොම්බියාවේ කාලි නගරයේ පැවැත්වෙන වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියට ගුවන් ප්‍රවේශ පත්‍ර කලින් වෙන් නොකිරීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත වේලාවට ගමන් කිරීමට නොහැකි වුණා.


මේ නිසාවෙන් සමහර ක්‍රීඩකයන් හට තරඟයට සහභාගී වන්නට වුණේ දීර්ඝ ගුවන් ගමනකින් පසු කිසිම විවේකයකින් තොරවයි. සමහර ක්‍රීඩකයන් කාලි නගරයට ළඟාවන විට ඔවුන්ගේ තරඟ ඉසව්ව අවසන් වෙලා තිබුණා. මේ සියල්ල හමුවේ යුපුන් ලබාගන්නා සාර්ථකත්වය දකිනකොට නිසි කළමණාකාරිත්වයක් නොමැති නිසා අකාලයේ මෙරටට අහිමි වන ක්‍රීඩා සම්පත් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී තිබෙනවා.


නිසි පුහුණුකාරිත්වයක්, නිසි කලමණාකාරිත්වයක්, නිසි තාක්ෂණයක් මේ රටේ ක්‍රීඩාවට ගේන්න පුලුවන් නම් යුපුන් ලා තව දහසක් ශ්‍රී ලංකාවෙන් බිහි වේවි. මොකද මේ රටේ දක්ෂයන් අඩු නෑ කියලා අපි දවසින් දවසම දකිනවා.


ඡායාරූපය - Ceylon Athletics

13 views0 comments