• Shaminda Jayarathne

තවත් මාස 7 කට ටෙස්ට් ක්‍රිකට් නොමැති වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය මාස කිහිපයේදී ටෙස්ට් තරඟ 6ක් ක්‍රීඩා කළා. ඒ බංග්ලාදේශය සමග 2ක්, ඕස්ට්‍රේලියාව සමග 2ක් හා පාකිස්තානය සමග 2ක් වශයෙන්. මෙම තරඟ වලින් 3ක් ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ඉතිරි තරඟ 3 අවසන් වුණේ 2ක් පරාජය වී සහ එක තරඟයක් ජය පරාජයෙන් තොරව නිමාව දකිමිනුයි. නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟාවලියක් හිමි වන්නේ 2023 මාර්තු මසදී වීම විශේෂත්වයක්.


මේ හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ආසන්න වශයෙන් මාස 7 කට අධික කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටිනවා. එය වර්තමානයේ කණ්ඩායමේ රිද්මයට යම්කිසි බලපෑමක් සිදු කළ හැකි බවට විශ්වාස කළ හැකියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නවතම සොයාගැනීම වන ප්‍රභාත් ජයසූරිය තමන්ගේ රිද්මයේ උපරිම සමය මේ දිනවල ගත කරමින් සිටිනවා. ඔහුට තවත් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට නම් මාස 7 ක කාලයක් බලා සිටීමට සිදු වීම සහ එම තරඟාවලියත් දඟ පන්දු යවන්නන් හට හිතකර නොව තණතීරු ඇති නවසීලන්තයේ පැවැත්වීම එතරම් සතුටුදායක තත්ත්වයක් නොවෙයි.


අනෙක් අන්තයෙන් පිතිකරණ අංශයේ දිනේශ් චන්දිමාල් කලකට පසුව තමන්ගේ හොඳම පිතිකරණ රිද්මයක් පවත්වාගෙන සිටින බව නොරහසක්. ඔහුටත් තවත් මාස 7ක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට බලා සිටිය යුතු වනවා. ශ්‍රී ලංකාව හැරෙන්නට ටෙස්ට් ලෝක කුසලානය ක්‍රීඩා කරනා අනෙක් සියලුම රටවල් මේ වසර තුළ තවත් එක් ටෙස්ට් තරඟාවලියක් හෝ ක්‍රීඩා කිරීමට නියමිතයි.


මේ වසර අවසන් වන තෙක්ම ශ්‍රී ලංකාවට තවත් සීමිත පන්දුවාර තරඟ යටතේ එක්දින තරඟද නොමැති වන අතර මේ වසර පුරාවටම විස්සයි විස්ස තරඟ පමණක් ඉතිරිව තිබෙනවා. වසර අගදී බටහිර ඉන්දීය කොදෙව් සමගින් තරඟාවලියක් පැවැත්වීම සඳහා සාකච්ඡා සිදු වන බවට පැවසුණත් ඔවුන් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමගින් තරඟ වැදීමට නියමිතව පවතින නිසාවෙන් එම තරඟාවලිය පැවැත්වීමද අවිනිශ්චිත වී තිබෙනවා.


ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම නවසීලන්ත තරඟාවලිය ජයග්‍රහණය කළ යුතු වනවා. එය බොහෝ දුරට 2-0 ක පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් වීමේ අවශ්‍යතාවයද වැඩි මට්ටමක පවතිනවා. නමුත් මාස 7 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් වලින් ඈත්ව සිට නවසීලන්තය තුළදී ටෙස්ට් ජයග්‍රහණයක් කරා යෑමට එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ රිද්මයට බලපෑමක් එල්ල නොවනු ඇතැයි Creedanet අප විශ්වාස කරනවා.

3,825 views0 comments